FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා එක්දින සහ විසසයි20 කණ්ඩායම් නායකත්වයේ වෙනසක්; අවසන් තීරණය සැප්. 09

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළබෙන ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය සඳහා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි20 නායක ලසිත් මාලිංග අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම සංචාරය සඳහා නායකත්වයේ වෙනසක් කිරීමට සිදු වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දිමුත්, මාලිංග, සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සැප්තැම්බර් 27 දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරයට සහභාගීවීමට අකමැත්ත පළ කර තිබේ.

2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් කණ්ඩායම් බස් රථයට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ දක්වා කිසිදු විදේශීය කණ්ඩායමක් පාකිස්තානයේ සතියක කාලයක්‌ නොසිටි බව ඔවුහු කියති.

2017 වසරේ අවසන් වරට පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය එක් තරගයක් සඳහා පමණක් සීමා වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පැය 24 කටත් වඩා අඩු කාලයක් එරට රැඳී සිට ඇත.

කෙසේනමුත්, එළබෙන ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) හෙට (09) දින ක්‍රීඩකයින් හමුවීමට නියමිතය.

එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, 2017 වසරේ සිදුවූ ආකාරයට නව නායකත්වයකින් සැදුම්ලත් එක්දින සහ විස්සයි20 සංචිතයන් පකිස්තානයට යැවීමට කටයුතු කරනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.

සැප්තැම්බර් 27 දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියට එක්දින සහ විස්සයි20 තරග 3 බැගින් ඇතුළත් වේ.

සබැඳි පුවත්;

තිසර සහ දික්වැල්ල පාකිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඉල්ලයි

රූමේෂ් රත්නායක, මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, ශ්‍රී ලංකාව සමග පාකිස්තානයට

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල නායකයින් දෙදෙනා පාකිස්තාන සංචාරයෙන් ඉවතට