FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල නායකයින් දෙදෙනා පාකිස්තාන සංචාරයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් 27 දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය සඳහා මෙරට ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් අකමැත්ත පළ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි20 නායක ලසිත් මාලිංග සංචිතයට එක් නොවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරය සඳහා අකමැත්ත පළ කිරීමට ප්‍රධාන හේතුව වන්නේ, මෙම තරගාවලිය සතියක් පුරා පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කිරීමයි.

2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් කණ්ඩායම් බස් රථයට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ දක්වා කිසිදු විදේශීය කණ්ඩායමක් පාකිස්තානයේ සතියක කාලයක්‌ නොසිටි බව ඔවුහු කියති.

අවසන් වරට පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය එක් තරගයක් සඳහා පමණක් සීමා වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පැය 24 කටත් වඩා අඩු කාලයක් එරට රැඳී සිට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සැප්තැම්බර් 9 දින එළඹෙන පාකිස්තාන සංචාරය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙරට ක්‍රීඩකයින් හමුවීමට නියමිතය.

කෙසේනමුත්, එම සංචාරයට මෙරට ක්‍රීඩකයින් සහභාගිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අශාන්ත ද මෙල් සමබර මතයක් දරන බව වාර්තා වේ.

ඔවුන්ගේ තීරණය, අනාගතයේදී සංචිතයන් සඳහා තෝරා ගැනීමේ අවස්ථාව කෙරෙහි බලනොපාන බවට ඔහු ක්‍රීඩකයන්ට සහතික වී තිබේ.

සබැඳි පුවත්;

තිසර සහ දික්වැල්ල පාකිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඉල්ලයි

රූමේෂ් රත්නායක, මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, ශ්‍රී ලංකාව සමග පාකිස්තානයට