(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියා සංචිතය සඳහා ඇෂ්ටන් ටර්නර් ඇතුලත් නොවන බවට එරට ක්‍රිකට් ආයතනය පවසයි.
පසුගිය සතියේ බටහිර ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමත් සමග පැවති පුහුණු සැසිවාරයකදී ඔහුගේ දකුණු අතෙහි ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුවී ඇති අතර වෛද්‍ය උපදෙස් මත සති හතරක හෝ හයක කාලයක් ටර්නර් හට තරගබිමෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇත.
ටර්නර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 5 ක් ක්‍රීඩා කර තිබේ.
පසුගිය මාර්තු මස මොහාලි හිදී ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරගයකදී ඔහු පන්දු 43 කට නොදැවී ලකුණු 84 ක් රැස් කිරීම එම තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව වෙත ළඟා කරගැනීමට බෙහෙවින් ඉවහල් විය.
‘ජිලට් විස්සයි20’ ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි20 තරගාවලිය එක් පුහුණු තරගයකින් සහ මූලික තරග 3 කින් සමන්විත වේ.
පළමු විස්සයි20 තරගය ලබන මස 27 දින එරට ඇඩිලේඩ් නගරයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර, දෙවන තරගය ඔක්තෝම්බර් 30 දින ගැබා ඕවල් ක්‍රීඩාංගනයෙදී පැවැත්වේ.
තෙවන සහ අවසන් විස්සයි20 තරගය නොවැම්බර් 01 දින මෙල්බර්න් ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
මූලික තරග 3 ට ප්‍රථමයෙන් ඔක්තෝම්බර් 27 දින ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිලත් සමග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම පුහුණු තරගයක නිරත වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.








