FAST NEWS

24×7 Around the Globe

වසර 10 කට පසු ශ‍්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ පළමු පියවර අද

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ එළබෙන පාකිස්තාන සංචාරයට ප්‍රථම එරට ආරක්ෂාව පිලිබඳ සහතිකයක් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය (SLC) විසින් සිව්දෙනකු පාකිස්තානය බලා අද (06) පිටත් කර යැවීමට නියමිතව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සමග ආරක්ෂක උපදේශක, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ජාත්‍යන්තර තරග අංශ ප‍්‍රධානී චන්දිම මාපටුන සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විරෝධී සහ ආරක්ෂක සහාය කළමනාකරු පාලිත සෙනෙවිරත්න යන මහත්වරුන් පාකිස්තානයේ ආරක්ෂ තත්ත්වය සොයා බැලීමේ මෙරට නියෝජිතයන් ලෙස එරට දින 4 ක කාලයක් ගත කරනු ඇත.

අදාළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නියෝජිතයන් පාකිස්තානයේ ආරක්ෂක ප‍්‍රධානීන් සහ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණවල තත්ත්වයද පරීක්‍ෂා කිරීමට නියමිතව තිබේ.

ආරක්ෂක තත්ත්වය යහපත් බවට එම නියෝජිතයන් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සහතිකයක් ලබාදුනහොත් කරච්චි සහ ලාහෝර් නගරවල තරගාවලිය පැවැත්වීමට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය සූදානමින් සිටියි. එසේ නොවුණහොත් එම තරගාවලිය ඩුබායි නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2009 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ තරග කිරීමෙන් වැළකී සිටියේය. එම ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම තුවාල ලැබූ අතර එරට පොලිස් නිලධාරීන් 6 දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකුද ජීවිතක්ෂයට පත්විය.