(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වුවද නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ විලාශය තමාට මෙන්ම තමන්ගේ රටටද ඉමහත් අභිමානයක් ගෙන දෙන්නක් බව නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරිය වන ජැකින්ඩා ඇඩ‍්‍රන් මහත්මිය සඳහන් කර තිබේ.
‘‘අවසන් මහා තරගය ඉතාමත් විශිෂ්ට තරගයක් ජයග‍්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමට මම සුබ පතනවා. නමුත් මගේ කණ්ඩායම කළ ක‍්‍රීඩා විලාශය මට මහත් අභිමානයක්. සුපිරි පන්දුවාරය තුළ අපි ජාතියක් හැටියට වසරකින් වයසට ගියා කියලා හිතෙනවා. ඇත්තටම සුපිරි පන්දුවාරය හරිම අවසානය නොවෙයි. නවසීලන්ත වැසියන්ට තමන්ගේ කණ්ඩායම සම්බන්ධව ආඩම්බර විය හැකියි. එදා දවසේ නවසීලන්ත වැසියන් මෙන්ම මමත් තරගයේ තීරණය ගැන කම්පාවෙන් සිටියේ. ’’
මේ අතර , කුසලානයේ සම අයිතිය දෙපිලටම ලබාදිය යුතුව තිබූ බවද විවිධ පාර්ශ්ව සඳහන් කරයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූ වැඩිදුර අදහස් ,
“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා. එම තරගාවලියේදී අපේ කණ්ඩායම දිහා බැලූවිට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා.









