FAST NEWS

24×7 Around the Globe

අංකුර හා තරුණ නාට්‍යකරුවන්ට ටවර් හොල් පදනමෙන් අත්වැලක්..

දියුණු නාට්‍ය සංස්කෘතියක් බිහිකර, ජනතාවගේ සෞන්දර්යාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් හා දේශීය නාට්‍ය කලාවේ දියුණු ප්‍රේක්ෂකාගාරයන් බිහිකිරීම සඳහා මෙරට නාට්‍යවේදීන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ටවර් රඟහල මසකට වරක් නාට්‍ය සංවිධායකයින්ට නොමිලේ ලබාදීමට ටවර් හෝල් රඟහල පදනම තීරණය කර තිබේ.
1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පනතින් ලබාදී තිබෙන වගකීම් අනුව, දියුණු නාට්‍ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්‍ය පරිසරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව, අංකුර හා තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහා රංගශාලා පහසුකම් ලබාදෙමින්, මසකට වරක් ගුණාත්මක නාට්‍ය නිර්මාණයන් රු. 200/- සහනදායී ප්‍රවේශ පත්‍රයකට ප්‍රේක්ෂකයින්ට නැරඹීමට ඉඩකඩ ලබාදෙමින්, ටවර් හෝල් රඟහල පදනමේ විශේෂ කමිටුවක් මගින් නිර්මාණකරුවන්ගේ නාට්‍ය නිර්මාණ තෝරාගෙන 2019 ජනවාරි මස අවසන් සතියේ සිකුරාදා සිට සෑම මසකම අවසන් සතියේ සිකුරාදා දින ටවර් රඟහල නිර්මාණකරුවන්ට නොමිලේ ලබාදීමට භාරකාර මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව, තීරණය කර ඇතැයි ටවර් හෝල් රඟහල පදනම පවසයි.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන නාට්‍යකරුවන්ට තම නිර්මාණ විස්තර ඇතුළත් කරමින් සකස් කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඉල්ලුම් පත්‍ර අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හොල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයට එවන මෙන් ටවර් හෝල් රගහල පදනම දන්වා සිටී.