පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය අතරතුර රෝහිත් ශර්මාගෙන් ලෝක වාර්තාවක්…

පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය අතරතුර රෝහිත් ශර්මාගෙන් ලෝක වාර්තාවක්…

පන්දුවාර 20-20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගයේදීය.
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (06) ලක්නව්හි දී පවත්වනු ලැබීය.
මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 123 ක් ලෙස සටහන් කෙරුණි.
වේගවත් පිතිහරඹයක නිරත වූ රෝහිත් ශර්මා පන්දු 61 කින් ලකුණු 111 ක් වාර්තා කිරීමට සමත් වූ අතර 04 පහර අටකින් සහ 06 පහර හතකින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
මේ අනුව පන්දුවාර 20 – 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා පොත් අතරට එක්විය.
එමෙන්ම පන්දුවාර 20 – 20 අංශයේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ නායකයා ලෙස ද ශර්මා වාර්තා තැබීය.