ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට බ්රසීලය ඊයේ (02) සමත් විය. ඒ මෙක්සිකෝව සමග පැවති දෙවන වටයේ තරගය ගෝල 2 – 0 ක් ලෙස ජය ගනිමින්.
51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගයේ ග්රහණය බ්රසීල කණ්ඩායම වෙත පවරාගත් නේමාර් අවසන් මිනිත්තු කිහිපය තුළ තවත් ගෝලයක් සඳහා රොබර්ටෝ ෆර්මිනෝ වෙත පන්දුව යොමු කරමින් සිය කණ්ඩායමේ ජයග්රහණය තහවුරු කළේය.
බ්රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට නොකඩවා සුදුසුකම් ලැබූ 7වන අවස්තාව මෙයයි.
ඒ වගේම අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත්වීමට ජපානයට ඊයේ (02) සිදුවිය. ඒ අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා රැඳී සිටි එකම ආසියානු රටද තරගාවලියෙන් ඉවත්විය.
බෙල්ජියම් කණ්ඩායම හා පැවැති තරගයේදී ජපානය ගෝල 2-3 ක් ලෙස පරාජයට පත්විය.
තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකි විය. තරගයේ 48 වැනි විනාඩියේදී හා 52 වැනි විනාඩියේදී ජපාන ක්රීඩකයන් ගෝල 2ක් වාර්තා කරමින් 2-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තේය.
කෙසේ වෙතත් 69 වැනි විනාඩියේදී හා 74 වැනි විනාඩියේදී බෙල්ජියමද ගෝල දෙකක් වාර්තා කරමින් තරගය සම කළේය.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයෙන් පසුව ලබාදුන් අතිරේක කාලයේදී එනම් 94 වැනි විනාඩියේදී බෙල්ජියමේ චඩ්ලි වාර්තා කළ ගෝලයත් සමගින් ජපානය තරාවලියේ ඉවත්වූ අතර බෙල්ජියම අවසන් 8 දෙනාගේ වටයට පිවිසියේය.












