FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩක මානසිකත්වය හා පුහුණුවේ ඉලක්කය ගැන හතුරුසිංහ මාධ්‍ය වෙත කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී මනෝ වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්නා බව ,නව පුහුණුකරු ලෙස පත්වූ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (28) පැවති පළමු පුහුණු සැසිය අවසානයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක්වු හතුරුසිංහ

“මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පුහුණු කරන අවධියේදී මයික් හසී තමයි මට ෆිල් ජෝන්ස් නම් මනෝ වෛද්‍යවරයා මුණ ගැස්සුවේ. ඔහු (ෆිල් ජෝන්ස්) ඕස්ට්‍රේලියානු බේස්බෝල් හා රග්බි කණ්ඩායම්වල මනෝ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන නිසා ඔහුගෙන් විශාල සේවයක් වෙයි කියන විශ්වාසය මත මම බංග්ලාදේශය පුහුණු කරන කාලයේදීත් ඔහුව යොදවා ගත්තා. එයින් අපි ලොකු දියුණුවක් ලැබුවා. ඒ නිසා ඉදිරියේදී වසරකට 04 වරක් වගේ ඔහුගේ සේවය අපි ලබාගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම සමහර සංචාරවලදීත් ඔහු යොදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා” යැයි පැවැසූ හතුරුසිංහ ඊයේ (28) සිදුවූ පුහුණුවීම් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

“මම මෙතැනදී ලබා දුන්නේ මූලික දැනුමක් විතරයි. ඔවුන්ට නිදහසේ පන්දුවට පහර දෙන්නත්, නිදහසේ පන්දු යවන්නත් මම අවස්ථාව ලබා දුන්නා. මේ අයගේ දක්‍ෂතා ගැන අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඒ දක්‍ෂතා මතුකරගැනීමට උදවු දීමයි කළ යුත්තේ. ඒ අයගේ ලොකු උනන්දුවක් තියෙනවා. කොහොම වුණත් මගේ ලොකුම ඉලක්කය 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. එය ඉලක්ක කරගෙනයි මම පුහුණුවීම් කරන්නේ”

මෙම පුහුණුසැසිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක, පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරද එක්ව සිටියහ.

DE සිල්වා