FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 01 සිට වෙළෙදුන් පිරිසකගෙන් දුම්වැටි අලෙවියට තිත..

2018 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සියලුම වෙළෙඳ සල් හිමියන් දුම්වැටි අලෙවිය නතර කර දැමීමට තීරණය කර ඇත.

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනා රණසිංහ, දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ අදහසක්‌ අනුව සියලුම වෙළෙඳ සල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ පැවැත්වුණු අතර වෙළෙඳ සල් හිමියන් දුම්වැටි අලෙවිය නවතා දැමීමට එහිදී තීරණය කර තිබේ.

වෙළෙඳ සල් ගණනාවක්‌ දැනටමත් දුම්වැටි අලෙවිය නවතා දමා ඇති අතර “දුම්වැටි අලෙවිය නතර කළාට ස්‌තුතියි” යනුවෙන් සඳහන් වූ ස්‌ටිකරයක්‌ එම වෙළෙඳ සල්වල පැහැදිලිව පෙනෙන ආකාරයෙන් ඇලවීමට දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අසංක බලපිටිය මහතා ඇතුළු ප්‍රදේශයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහාය මීට ලැබී ඇති අතර කොළඹ මත්ද්‍රව්‍ය නාශක මධ්‍යස්‌ථානයේ නිලධාරීන් පැමිණ මෙම දැනුවත් කිරීමට සම්පත් දායකත්වය ලබාදී තිබේ.

දොඩන්ගොඩ සහ සපුගහවත්ත යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්‌ඨාස තුළ පළමුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඉන් අනතුරුව නෑබඩ සහ බෝම්බුවල යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්‌ඨාස තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.