FAST NEWS

24×7 Around the Globe

විදුහල්පති සා.පෙළට පෙනී සිටීමේ අයිතිය අහිමි කරලා..

තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව සිටින විභාග අපේක්ෂකයකු සම්බන්ධයෙන් පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මානේරුව මහ විද්‍යාලයෙන් වාර්තා වේ.

මෙලෙස අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව ඇත්තේ නෑගම්හ අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන, මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එච්.එම්.සජිත් අශෝක බංඩාර නැමැති ශිෂ්‍යයාය.

කථන ආබාධයකින් පෙළෙන මෙම දරුවා පාසැල් අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කිරීමට අයදුම්පත් යොමු කිරීමට දරුවා ඉගෙනුම ලබන විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර නැති අතර ඒ හේතුවෙන් එම දරුවාට පෞද්ගලික අපේක්ෂකයකු ලෙස වෙනම විභාගයට පෙනී සිටීමට සිදුව ඇති බව දෙමව්පියන් පෙන්වා දෙයි.

ඒ නිසා මෙම දරුවාට විභාග අංක 77859995 යටතේ ආඬියාගල මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී පෞද්ගලික විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව ඇත.

එහිදී ඔහුට සිදුව ඇති තවත් අසාධාරණයක් වන්නේ නව නිර්දේශය සඳහා සූදානම් වූ ඔහුට එහිදී මුහුණ දීමට සිදුව ඇත්තේ පැරණි නිර්දේශය යටතේ වූ අනපේක්ෂිත ප්‍රශ්න පත‍්‍රවලටය.

සිද්ධියේ බරපතලකම පසුව තේරුම්ගත් විදුහල්පතිවරයා, සිය නිවසට පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුටත් තොරතුරු හෙළි නොකරන ලෙස තමන්ට පැවැසූ බවද දරුවාගේ දෙමව්පියන් සඳහන් කර සිටියි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් මානේරුව මහ විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ.ගුරුසිංහ මහතා මෙසේ කියා සිටියි.

” ඒ දරුවා පෞද්ගලික අයදුම්කරුවකු ලෙස අයදුම් කළ අවස්ථාවේ විෂය නිර්දේශය සම්බන්දයෙන් ගැටඵවක් නම් තිබුනේ නැහැ. දරුවාගේ සාධන මට්ටම ප්‍රමාණවත් නොවූ නිසා පාසල් අයදුම්කරුවකු ලෙස විභාගය අසමත්වෙයි කියල තමයි අපි පාසල් අයදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් නොකර පෞද්ගලික අයදුම්කරුවකු ලෙස ඒ දරුවා විභාගයට ඉදිරිපත් කරන්න කටයුතු කළේ. ඒ ගැන මම දෙමව්පියන් එක්කත් කතා කරලා තියෙනවා. දරුවාගේ පෞද්ගලික විභාග අයදුම්පත්‍රයත් මම තමයි ඉකුත් 08 වැනිදා ගෙදරට ගෙනිහින් දුන්නේ. මම මේ ගැන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලා තියෙනවා. මම ඊයෙ (12) දරුවගේ ගෙදර ගියා දෙමව්පියන් සමග කතා කළා. නමුත් මේ ගැන කාටවත් කියන්න එපා කිව්වේ නැහැ. මේ දරුවා මොන විභාගයට පෙනී සිටියත් ඒ දරුවගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දරුවා ඒ ගැන හිතන්නෙ නැහැ. ඒ නිසා මානසික තත්ත්වය ගැන ගැටළුවකට මේ දරුවා මුහුණ දෙන්නේ නැහැ ඒක පැහැදිලියි..”

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එස්. වේගොල්ල මහතා පවසා සිටින්නේ ඒ දරුවා පාසල් අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ යුතු බවත් කිසියම් පාසල් දරුවෙක් සාධන මට්ටමෙන් පහළ සිටියා වුවත් විභාගයට පෙනී සිටීමේ අයිතිය අහිමි කිරීමට විදුහල්පතිවරයෙකුට අයිතියක් නොමැති බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවත්ය.