තිරප්පනය පොලිස් වසමේ සෙම්බුකුලම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ හේන් යායකදී ගැබ්බර ඇතින්නකට වෙඩි තබා මරා දැමූ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනය පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
පෙරේදා (11) රාත්‍රියේ හෝ ඊයේ (12) අලුයම් කාලයේදී කිසියම් අයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය සැකපහළ කරන අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු විස්සක් පමණ වන අඩි අටක් පමණ උසින් යුතු ගැබ්බර ඇතින්නියකි.
ඝාතනයට ලක්වූ ඇතින්න හා තවත් අලි රංචුවක් තිරප්පනය දෙමටවැව සෙම්බුකුලම ප්‍රදේශයේ කුඹුරු අක්කර කිහිපයක් විනාශ කර නැවත කැලයට යද්දී වගා ආරක්ෂාවට නිකුත් කර තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් ප්‍රහාරය එල්ල කර තිබෙන බවට පොලිසිය සැක පහළ කරයි.
ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන වනජීවී නිලධාරීන් පැවැසුවේ මාස දෙකක පමණ පැටවකු සහිත කලලයක් ඇතින්නගේ කුසේ ඇති බවට සැකපහළ කරන බවයි.
අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය එච්.කේ. ඉසුරු මහතා විසින් ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර පපුව පසාරුවී යන්නට එල්ලවූ දරුණු වෙඩි ප්‍රහාරයකින් සිදුවූ බරපතළ තුවාල නිසා මරණය සිදුවී ඇති බවට නිගමනය කළේය.









