FAST NEWS

24×7 Around the Globe

යාපනයේ විද්‍යා ඝාතක ස්විස් කුමාර් නිදහස් කල උප පොලිස් පරීක්ෂකවරයා අතුරුදහන්..

යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නැමත්තා නිදහස් කළ උප පොලිස් පරීක්ෂකවරයාව වහාම අත් අඩංගුවට ගන්නා ලෙසට කයිට්ස් දිසා විනිසුරු එම්.රියාස් මහතා නියෝග කළේය.

විනිසුරුවරයා මෙම නියෝගය කළේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරණ ලද උතුරු පළාත් බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව පවතින නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩු විභාගයේ සාක්කිවලට අනුව ප්‍රකාශ වී ඇත්තේ ”ස්විස් කුමාර්” ඇතුළු සැකකරුවන් හයදෙනෙකු කයිට්ස් පොලීසියට රැගෙන එන ලද අවස්ථාවේදී ශ්‍රී ගජන් නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණ ඔහුව යාපනය පොලීසිය වෙත රැගෙන ගොස් එහිදී ”ස්විස් කුමාර්” හා තවත් අයෙකුව නිදහස් කොට අනෙක් හතර දෙනා රිමාන්ඩ් කළ බවටයි.

මෙසේ සිදු කරන ලද්දේ නියෝජ‍්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත බව යාපනය මහාධිකරණයේදී ප්‍රකාශ වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කරණු ලැබීය.

එසේ නියෝගයක් ලබාදීමක් හෝ අණ කිරීමක් හෝ ”ස්විස් කුමාර්” නිදහස් කිරීමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට කොට ඇති ප්‍රකාශයට අනුව සැකකරු නිදහස් කළ උප පොලිස් පරීක්ෂකවරයා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා අද දින නියෝග කරනු ලැබීය.

නමුත් එම සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා විද්‍යා දැරියගේ නඩුව විභාග වෙමින් පවතින කාලයේදීම ප්‍රශ්න කිරීම සහ අත්අඩංගුවට ගැනීමට සෙව්වද හදිසියේම එම උපපොලිස් පරික්ෂක වරයා අතුරුදහන් වී ඇත.

කෙසේ වෙතත් අද දින විභාගයට ගත් අදාල නඩුව නැවත 2018 පෙබරවාරි 28 වනදා දක්වා කල් දැමීමටද කයිට්ස් මහේස්ත්‍රාත් වරයා පියවර ගනු ලැබීය.