FAST NEWS

24×7 Around the Globe

අගමැතිගෙන් මාධ්‍ය ප්‍රධානීන්ට ප්‍රශ්න ගොඩක්..

ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමටත් රට නැවතත් රාජපක්ෂ යුගය කරා ගෙන ගොස් දූෂිත ගනු-දෙනු මඟින් මුදල් ඉපයීමටත් සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (04) පැවැති මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට සහභාගී වෙමින් පැවැසීය.

මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට මාධ්‍ය නියෝජනය කරන ප්‍රධානීන් නොපැමිණියේ පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ ගැසිමට ඔවුනගේ උනන්දුවක් නොමැති නිසාදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඔවුන්ගේ උනන්දුවක් නැත්තේ ඔවුනට මාධ්‍ය නිදහස අවශ්‍ය නැති නිසාද? පවතින ආණ්ඩුව පෙරලා දමා රාජපක්ෂ රෙජිමය යළි ගෙනවිත් නැවතත් මාධ්‍යවේදීන් මරා දැමීමට ඉඩ දීමට අවශ්‍ය නිසාද? යැයි විමසූ අගමැති වික්‍රමසිංහ මහතා රාජපක්ෂ රෙජිමය යටතේ මාධ්‍යවේදීන්ට සිදු වූ අපරාධ එකකවත් ඡායාරූප මාධ්‍යවල පළ නොකළ බවත් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට සිදු වූ අකටයුතුකම් ගැන කිසිම මාධ්‍යවේදීයෙක් තමන්ගෙන් ප්‍රශ්න නොකරන බවත් අගමැතිවරයා කීය.

පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට පහර දුන් බවත් අත් අඩංගුවේ තබා ගත් බවත් කී අගමැතිවරයා රාජපක්ෂ රෙජිමය එම අපරාධ කිසිවක් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග නොගත් බවත් කීය.

එවැනි දේට එරෙහිව පවත්වන මෙම සමුළුවට මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් පැමිණේවි යැයි තමා බලාපොරොත්තු වුවත් පැමිණ ඇත්තේ රජයේ මාධ්‍ය ආයතන දෙකක සභාපතිවරුන් සහ එක් පෞද්ගලික මාධ්‍යයක කර්තෘවරයෙක් පමණක් බවත් පෙන්වා දුන්නේය.