——————————————————–(update)
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) පැමිණියහ.
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා නගා ඇත.
බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා රු. මිලියන 64 ක අල්ලසක් ඉල්ලා තර්ජනය කළ බවට සිලිකන් ටෙක්නොලොජි නම් ආරක්ෂක කැමරා සහ අධි තාක්ෂණික උපකරණ මෙරටට ගෙන්වන සමාගමක හිමිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
මෙම අල්ලස මුදල ඉල්ලා ඇත්තේ කොලොන්නාව, මීතොට මුල්ල පාරේ අංක 251/9 ස්ථානයේ පිහිටි අක්කර 2 පර්චස් 8 ක ඉඩමක් බහලුම් අංගනයක් සහ ගබඩා සංකිර්ණයක් ඉදිකිරීම සඳහා එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාවෙන් සේවය ලබාගැනීම සඳහාත්, එම ගබඩා සංකීර්ණය පළාත් සභාවටම බදුදීම සඳහාත් වු එකඟතාවකට එළඹීමේදී බව පැවසෙයි.
මහ ඇමතිවරයා මෙහිදී සෘජුව ම මුදල් ඉල්ලු බවත්, ඹහුට එය සෘජුවම ලබා ගත නොහැකි බැවින් ඔහුගේ බිරිය සහ තවත් ඥාති සොහොයුරියක් නමින් පැමිණිලිකරු සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹි බවත් පැමිණිල්ලේ දැක්වේ.
මේ පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය 07 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණී.
මේ පිළිබඳ ව ප්‍රසන්න රණතුංග මහතා ගේ බිරිය වන මොරින් රණතුංග මහත්මියගෙන්ද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පසුගිය දා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධාකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ ඉඩම් ගනුදෙනුවක් හා සම්බන්ධ මූල්‍ය වංචාවකට අදාළ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (14) පෙනී සිටින ලෙස ඔහුට හා ඔහුගේ බිරියට දැනුම් දී ඇති බවයි.








