ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ජූලි 9 වැනිදා පැවති මහජන උද්ඝෝෂණ හමුවේ ජනපති මන්දිරයෙන් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (ජූලි 13) අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට බිබිසිය පවසයි.

මෙරටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ලඟාවී ඇති අතර එහිදී දැඩි ආරක්ෂක රැකවල් මත ගුවන් තොටුපලින්‍ ඔහුව පිටතට රැගෙන යන අයුරු බවට දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල පළව තිබේ.

බලධාරීන් පවසන්නේ, ජූලි 12 වැනිදා රාත්‍රියේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිද අයෝමා හා තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ජූලි 09 වැනිදා නිවේදනය කළේ අද (ජූලි 13 වැනිදා) ජනපතිවරයා ඉල්ලා අස්වන බවටතමන්ට දැනුම් දී ඇති බවයි. ඒ අනුව අරගලකරුවන් මෙන්ම ජනතාව ද ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවෙයි. සැබවින්ම ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ අද තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරයි ද යන්න තවමත් අවිනිශ්චිතය.