තරුණ සිනමා කරුවකු වන චත්‍ර වීරමන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය “ආලෝකෝ උදපාදි” අද (20) සිට ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ.
“ආලෝකෝ උදපාදි” නිෂ්පාදනය කරමින් සිනමා කර්මාන්තයට අලුතින් නිෂ්පාදකවරයෙකුද එක්‌වේ. හෙතෙම කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේනය.
වළගම්බා රජ සමයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව සිදුවූ සිද්ධිදාමයක් චිත්‍රපටයට පාදක වේ. එවක සිදුවූ සොළී ආක්‍රමණයත්, ගම්වැසියන් හා මහා සංඝරත්නය ඝාතනය කරමින් සොළීන් ක්‍රියාකළ ආකාරයත්, එතෙක් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ සම්බුද්ධ ධර්මය මහා සංඝරත්නය විසින් ත්‍රිපිටකයට ග්‍රන්ථාරූඪ කළ ආකාරයත් “ආලෝකෝ උදපාදි” ඔස්‌සේ දිගහැරේ.
චිත්‍රපටයේ තිර පිටපත නීතිඥ සමන් වීරමන්ය. ඔහු ස්‌ත්‍රී, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාය. ඔහුගේ පුත් චත්‍ර වීරමන්, “ආලෝකෝ උදපාදි” අධ්‍යක්‍ෂවරයා ලෙස සිනමාවට පිවිසේ. සම අධ්‍යක්‍ෂවරයා භාරත හෙට්‌ටිආරච්චිය.
උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, නිරෝෂා තලගල, රොෂාන් ප්‍රනාන්දු, මේනකා පීරිස්, දර්ශන් ධර්මරාජ, බුද්ධදාස විතානාච්චි, ඇතුළු ශිල්පීහු රැසක් මෙහි රඟති. කැමරාව ප්‍රභෘත් රෝෂාන්ය. සංස්‌කරණය ශාන් අල්විස්‌ය.









