සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) 40 වන ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උළෙලේ (Göteborg Film Festival) ඉංග්මාර් බර්ග්මාන් ( Ingmar Bergman) සම්මානය සදහා වන තරඟකාරි අංශයට තේරී තිබේ.
ජනවාරි 27 දින සිට පෙබරවාරි 6 වන දින දක්වා ස්වීඩනයේ ගොතන්බර්ග්(Gothenburg)නුවරදී පැවැත්වෙන සිනමා උළෙල ස්කැන්ඩිනේවියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම සිනමා උළෙල වේ. ඉංග්මාර් බර්ග්මාන් සම්මානය සදහා නිර්දේශවුණූ පළමු ශ්‍රී ලාංකික සිනමා කෘතිය දැවෙන විහඟුන් වේ.
මේ අතර දැවෙන විහඟුන් චිත්‍රපටය 46 වන අන්තර්ජාතික රොඩර්ඩෑම් සිනමා උළෙලේ (International Film Festival Rotterdam) දීප්තිමත් අනාගතයක් සහිත සිනමාකරුවා අංශයට (Bright Future) ද තේරි තිබේ.
දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු යුරෝපීය සිනමා උළෙල නියෝජනය රොඩර්ඩෑම් සිනමා උළෙලයි.
උළෙල ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 5 දින දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරදී පැවැත්වෙයි .
ලොව ප්‍රධානතම සිනමා උළෙලක්වන රොඩර්ඩෑම් උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීමට සංජීවගේ ප්‍රථම සිනමා කෘතිය වන ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) 2011 වර්ෂයේදී සමත්විය.
මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (Elie Akoka) , ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D’halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.










