FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ සංචාරයෙන් එංගලන්ත නායක මොගන් හා හෙල්ස් ඉවතට..

බංග්ලාදේශයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව අවිනිශ්චිතාවය හේතුවෙන් එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ පිතිකරු ඇලෙක්ස් හේල්ස් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වීමට තීරණය කැර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය ජුලි මාසයේදී ඉස්ලාමීය කැරලිකරුවන් විසින් ඩකා අගනුවර ආපන ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයට ගොදුරු වී විසි දෙනකු මරුමුවට පත් වීම ඔවුන් මෙම තීරණයට එළඹීමට හේතුව බවද පැවසේ.

මෝගන් සහ හේල්ස් බංගලාදේශ සංචාරයට සහභාගි නොවීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන නමුත් ඔවුන්ගේ තීරණයට ගරු කරන බවද එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක ඇන්ඩෲ ස්ට්‍රෝස් මාධ්‍ය වෙත පවසා ඇත.

එසේම බංග්ලාදේශ සංචාරය සඳහා පවතින ආරක්ෂක විධිවිධාන පිළිබඳව ක්‍රීඩකයන් සමග විවෘතව කරුණු සාකච්ඡා කළ බවත් තවත් ක්‍රීඩකයන් එම සංචාරයෙන් ඉවත් නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තීබේ.