කුසල් මුබාරක් සමගින් නවක මුහුණු රැසක් ටේස්ට් සංචිතයට.

කුසල් මුබාරක් සමගින් නවක මුහුණු රැසක් ටේස්ට් සංචිතයට.

 

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ජෙහාන් මුබාරක් හා කුසල් ජනත් පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

කුසල් ජනිත් තවමත් ටෙස්ට් වරම් හිමිකරගෙන නොමැති අතර, මුබාරක් අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කර ඇත්තේ 2007 වසරේදීය. නිමාවූ පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දැක්වීමට මුබාරක් සමත්වූ අතර කුසල් ජනිත්ද පාකිස්තාන ඒ කණ්ඩායම හා පැවැති තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට සමත්විය. ඔවුන් දෙදෙනාට අමතරව තවමත් ටෙස්ට් වරම් හිමිකරගෙන නොමැති දුෂ්මන්ත චමීරද සංචිතයට කැඳවා තිබේ.

කණ්ඩායම තරුණ මුහුණුවලින් සන්නද්ධ කර ඇති අතර දුෂ්මන්ත චමීර, දිමුත් කරුණාරත්න, කිත්රුවන් විතානගේ, තරිඳු කෞෂාල් ඒ අතර වෙති. දිනේෂ් චන්දිමාල්ටද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

සුරංග ලක්මාල් සංචිතයට කැඳවා ඇතත් ඔහුගේ ආබාධය සුවවීම මත කණ්ඩායමට කැඳවීම තීරණය වනු ඇත. ශමින්ද එරංගද කොන්දේ ආබාධයක් නිසා සංචිතයට කැඳවා නොමැත.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජූලි 17 දා ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ආරම්භවෙයි. තරගාවලියට ප්‍රථමව පාකිස්තාන කණ්ඩායම එක්වන පුහුණු තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව අද (11දා) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ජෙහාන් මුබාරක්, කුසල් ජනිත් පෙරේරා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්