FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් නිසා ඇසක් අහිමි වූ එංගලන්තයේ ක්‍රේග් කීස්වෙටර් ක්‍රීඩාවෙන් සමුගනී.

එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන් ම පිතිකරුවෙකු ද වන ක්‍රේග් කීස්වෙටර් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

ඔහු සිය සමු ගැනීම පිළිබඳ තීරණය මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ පෙරේදා (05) දිනයේ ය.

කීස්වෙටර් පසුගිය ජුලි මාසයේ නෝර්තැම්ෂියර් කණ්ඩායමට එරෙහිව පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුරදී ආබාධයකට ලක් වීමෙන් පසු ඔහුගේ වම් ඇසේ පෙනීම දුර්වල විය.

ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නෙකු විසින් එල්ල කරනු ලැබූ පන්දුවක් ඔහුගේ කම්මුලේ වැදීමෙන් අනතුර සිදු වූ අතර එහිදී කම්මුල්ඇටය සහ නාසයට හානි වූ අතර පසුව ඔහුගේ වම් ඇසේ පෙනීම දුර්වල වි තිබේ.

මෙහිදී ඔහු ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ සිටිය ද ඔහුට අනතුරින් බේරීමට හැකියාවක් ලැබී නොමැත.

27 හැවිරිදි කීස්වෙටර් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඔහුගේ ඇස් ආබාධය හේතුවෙන් මේ වනවිට ඔහු මානසිකව ඇදවැටී ඇති බව ත් එම නිසා නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ ආශාවක් නොමැති බව ත් ය.

තමන් ඉතා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළ බව ත් ක්‍රීඩා ජීවිතය තුළ නැගීම් මෙන් ම පසු බැසීම් ද තිබූ බව ත් ඔහු විදෙස් මාධ්‍යට පවසා තිබේ.

කෙසේ වෙතත් කිසිදු පසු තැවිල්ලකින් තොරව ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ඔහු වැඩිදුරට ත් පවසා ඇත.

දකුණු අප්‍රිකාවේ උපත ලද ක්‍රේග් කීස්වෙටර් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 46ක් සහ විස්සයි විස්ස තරග 25කට ක්‍රීඩා කර තිබේ.

කෙසේ වෙතත් ක්‍රේග් කීස්වෙටර්ට ටෙස්ට් වරම් ලබා ගැනීමට නොහැකි විය.