ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති බ්ලැටර් ඉල්ලා අස්වීමට තීරණය කරයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති බ්ලැටර් ඉල්ලා අස්වීමට තීරණය කරයි.

සෙප් බ්ලැටර් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති සෙප් බ්ලැටර් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, තමන් එම ධුරයේ කටයුතු කරන්නේ, නව සභාපතිවරයෙකු පත්වන තෙක් පමණක් බව ය.

පසුගිය සිකුරාදා පැවැත්වුණු ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නිලවරණයේදී සෙප් බ්ලැටර් පස්වන වරට ත් සභාපති ලෙස තේරී පත්විණි.

ඒ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්ව තිබියදී ය.

කෙසේ වෙතත් ඊයේ ස්විට්සර්ලන්තයේ සූරික්හිදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සෙප් බ්ලැටර් ප්‍රකාශ කර ඇත්තේ, තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, විශේෂ මහ සමුළුවක් කැඳවා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු බව ය.

තමන් එලෙස සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සිදු වූ බව කියන දුෂණ සහ වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණවලට සහයෝගය දැක්වීම සඳහා බව සෙප් බ්ලැටර් මාධ්‍ය හමුවේදී පැවසී ය.

79 වන වියේ පසුවන සෙප් බ්ලැටර් පළමු වරට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් වූයේ, 1998 වසරේදී ය.

එතැන් පටන් ඔහු අඛණ්ඩව සිව් වරක් සභාපති ධුරයේ කටයුතු කළේ ය.