ඩිලීට හා සචිත්‍රට ජය සංගා සහ මහේලට පරාජය

ඩිලීට හා සචිත්‍රට ජය සංගා සහ මහේලට පරාජය

එංගලන්තයේ පැවැත්වෙන (NatWest t20 Blast) විස්සයි20 ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ පසුගිය සිකුරාදා (29දා) පැවැති තරගවලින් ජය හිමිකරගැනීමට තිලකරන්ත ඩිල්ශාන් නියෝජනය කරන ඩර්බිශයර් (Derbyshire) කණ්ඩායම හා සචිත්‍ර සේනානායක නියෝජනය කරන වොසෙස්ටර්ශයර් (Worcestershire) කණ්ඩායම් සමත්විය. කෙසේ නමුත් කුමාර් සංගක්කර නියෝජනය කරන සරේ හා මහේල ජයවර්ධන නියෝජනය කරන සසෙක්ස් කණ්ඩායම්වලට පරාරාජයවීමට සිදුවිය.

ලැන්කශෙයර් (Lancashire) කණ්ඩායම පරාජය කර ඩර්බිහි (Derby) පැවැති තරගයකින් ඩිල්ශාන් නියෝජනය කරන ඩර්බිශයර් කණ්ඩායම කඩුලු 05 ක ජයක් ලැබීමට සමත්විය. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලැන්කශයර් කණ්ඩායම ලකුණු 127 /9 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බර්බිශයර් කණ්ඩායම ලකුණු 128/5 (17.4) රැස්කරමින් එම ඉලක්කය සම්පූර්ණ කරගත්තේය. මෙම තරගයේදී ඩිල්ෂාන් පන්දුයැවීමෙන් 1/26 (4) ලෙස දක්‍ෂතා දැක්වූ අතර, හයේ පහරක් හා හතරේ පහර 04 සමගින් ලකුණු 38 (33) ක් රැස්කරමින් පන්දුවට පහරදීමෙන් දක්‍ෂතා දැක්වීය.

සචිත්‍ර නියෝජනය කරන වෝසෙස්ටර්ශයර් කණ්ඩායම වෝසෙස්ටර්හි පැවැති තරගයෙන් ලීසෙස්ටශයර් (Leicestershire) කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කිරීමට සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ලීසෙස්ටශයර් කණ්ඩායම ලකුණු 147/6 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ වෝසෙස්ටර්ශයර් කණ්ඩායම ලකුණු 149/4 (17.4) රැස්කමින් එම ඉලක්කය පසුකර ගියේය. මෙහිදී සචිත්‍ර සේනානායක 1/18 (3) ලෙස කඩුලු දවාලමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වීය.

හෝව්හි (Hove) පැවැති තරගයකින් මහේල නියෝජනය කරන සසෙක්ස් කණ්ඩායමට මිඩ්ල්සෙක්ස් කණ්ඩායම හමුවේ ලකුණු 42 කින් පරාජයවීමට සිදුවිය. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මිඩ්ල්සෙක්ස් කණ්ඩායම ලකුණු 221/2 (20) රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සසෙක්ස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 179/9 (20) පමණි. එතරම් සාර්ථක නොවූ මහේලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5 ක් පමණි.

කෙන්ට් කණ්ඩායම සමග බැක්හැම්හි පැවැති තරගයෙන් ලකුණු 23ක පරාජයක් අත්විඳීමට සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායමට සිදුවිය. පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම ලකුණු 193/8 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සරේ කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170/8 (20) පමණි. කුමාර් සංගක්කාර සරේ වෙනුවෙන් පන්දු 19කදී හතරේ පහර 04 ක් හා හයේ පහර 02 ක් සමගින් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය.