FAST NEWS

24×7 Around the Globe

තිලංග මහේලගේ සංකල්පය බැහැර කරයි.

පැවැති ක්‍රිකට් අතුරු කමිටුව විසින් ලබන ජනවාරියේ සිට ප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම්වල සිටින ක්‍රීඩකයන් කලාප පහකට වෙන්කර පැවැත්වීමට සැලැසුම්කර තිබූ කලාප ක්‍රිකට් තරගාවලිය අත්හැර දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාල සංකල්පය පැවැති අතුරු කමිටුව වෙත ඉදිරිපත් කර තිබුණේ හිටපු ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන විසිනි.

ඔහු අදාල සංකල්පය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද පැහැදිළිකර තිබූ බව පැවසේ.

තිලංගගෙන් පළාත් තරගාවලියක්

මහේලගේ කලාප සංකල්පය ඉවත දමා ඇත්තේ වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ගෙනෙන ලද පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ යෝජනාවක් නිසා බවද වාර්තා වේ.

තිලංගගේ පළාත් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට එක් කණ්ඩායමට ක්‍රීඩකයන් 18 දෙනා බැගින් කණ්ඩායම් 5ක් මේවන විට තෝරාගෙන ඇති බවද පැවසේ.

අදාල කණ්ඩායම් පහ තෝරාගෙන ඇත්තේ සුමතිපාල මහතා විසින් පත්කරන ලද පස්දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් විසිනි.

මේ තරගාවලිය ලබන ජනවාරි 26 වැනිදා සිට දින 4ක් පැවැත්වීමට නියමිතය.

කෙසේවුවද, අන්තර් සමාජ පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ ජනවාරි 24 වැනිදාය.

ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙසේ එකපිට තරගාවලි පැවැත්වීමෙන් ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට තරග වැඩිවන බවයි.

ඒ අන්තර් සමාජ පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කළ ජාතික ක්‍රීඩකයකුට ඊළඟට පළාත් තරගාවලියත්, ඉන් අනතරුව ඉන්දීය ක්‍රිකට් සංචාරයත් (පෙබරවාරි 06) ඉන් පසුව ආසියානු කුසලානය (පෙබරවාරි 24) මෙන්ම ලබන මාර්තුවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් ලෝක කුසලානයටත් තරග වැදීමට සිදුවන බවයි.