ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග අටේ ආදායම රු. මිලියන 160යි

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග අටේ ආදායම රු. මිලියන 160යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති විස්සයි20 තරග තුනෙන් හා දිවා – රාත්‍රී එක්දින තරග පහෙන් ලැබී ඇති ප්‍රවේශපත්‍ර ආදායම පමණක් රුපියල් මිලියන 160ක පමණ වෙයි. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති විස්සයි20 තරගයෙන් හා දිවා – රාත්‍රී එක්දින තරග දෙකෙන් රුපියල් මිලියන 42ක් ලැබී ඇති අතර, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්සයි20 තරග දෙකෙන් හා දිවා – රාත්‍රී එක්දින තරග තුනෙන් රුපියල් මිලියන 118ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ආදායම පමණක් රුපියල් මිලියන 25ක් පමණ වී තිබේ. 35,000කට පමණ තරග නැරැඹිය හැකි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි එක්දින තරගයේ උපරිම ධාරිතාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘දිනමිණ’ට පැවසීය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙද්දී දිනක ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් මිලියන 20 සිට රුපියල් මිලියන 25ක් පමණවන බවත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගයක් පැවැත්වෙද්දී ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් මිලියන 10 සිට රුපියල් මිලියන 15 පමණ ලැබෙන බවත් එම ප්‍රකාශකයා පැවසීය.

මේ ක්‍රිකට් තරගාවලියේ පැවැත්වුණු විස්සයි20 තරග තුනේ, දිවා – රාත්‍රී එක්දින තරග පහේ හා ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේ සම්පූර්ණ ප්‍රවේශපත්‍ර ආදායම ජනතා සහන වෙනුවෙන් ඇති සහන අරමුදල වෙනුවෙන් රජයට පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලින්ම ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවසුවේ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ උපදෙස් පරිදි ප්‍රවේශපත්‍රවල සියලු ආදායම් ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ මහතා හරහා මධ්‍යම රජය වෙත දීමට ක්‍රියා කරන බවයි. මෙමඟින් රුපියල් මිලියන ගණනක මුදල් රජයට පරිත්‍යාග කිරීමට හැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය ආරම්භයේදීම විශ්වාසය පළ කළේය.

ඔස්ට්‍රේලියා පිලේ ශ්‍රී ලංකා සංචාරය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද විශාල වටිනාකමක් ලැබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා සඳහන් කළේය. දෙරට අතර ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ විදේශ විනිමය ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අසහනයට පත්ව සිටින ශ්‍රී ලංකා වාසීන්ට මේ තරගාවලිය 3-2ක් ලෙස ජය ලැබීමෙන් සතුට ගෙනදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වීම අගය කළ යුත්තකි. අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි තරගාවලියක් සංවිධාන කිරීම පිළිබඳ නරඹන්නන් තුළ ඇත්තේ ද විශාල ගෞරවයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හරියටම වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ රනින් ලියැවුණු අතර, 1992දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් සිංහයන් ඇලන් බෝඩර්ගේ කැන්ගරු පිලට ආර්. ප්‍රේමදාස පිටියේදීම එලෙස බැටදී තරගාවලි ජයක් වාර්තා කර තිබිණි.