FAST NEWS

24×7 Around the Globe

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනයට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (15) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අලුතින් ක්‍රීඩා පහසුකම් හදන්න කලින් තිබෙන සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. දැනට තිබෙන ක්‍රීඩාංගණ සංවර්ධනය කර එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ වාගේ ක්‍රීඩාංගණ අභාවයට යාමට නොදී රැකගත යුතු අතර භාවිතා නොකර අත හැරියොත් ඉක්මනින් විනාශයට පත් වෙනවා. ඒවා නඩත්තුවට විශාල වියදමක් දරන්නට සිදුවෙනවා. රටේ දරුවන් වෙනුවෙන් ඉදි කළ බොහොමයක් ක්‍රීඩාංගණ වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම ගැන මම කණගාටු වෙනවා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වර්තමාන තත්තවය දැක්කාම විශාල සංවේගයක් මට ඇති වුණේ. ඇතැම් ඉදිකිරීම් නටඹුන් තත්ත්වයට පත් වීගෙන එනවා. මෙහි වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මම කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලපොරොත්තු වෙනවා. ඉදිරියේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට භාරදී හෝ රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

ජාතික සම්පත් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් භාවිතා කරීමට පහසුකම් සැපයීම අපේ වගකීමක් වෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මා නිරතුරුවම බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් උදව් අරගෙන අපේ දරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමටයි.

අද අපි ගන්නා නිවැරදි තීන්දු තීරණ අනාගතයේ දී අපේ රටෙන් බිහිවන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා බෙහෙවින් ඉ‍වහල් වෙනවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය මහතා, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහන බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.