(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කුළුඳුල් අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී කුමාර සංගක්කාර පුහුණුකාරීත්වය දැරූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්ය.
අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තරගය ඊයේ(29) පැවැත්විණ.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි සම්මානය ජෝෂ් බට්ලර්ට හිමිවිය. වැඩිම කඩුලු ලාභියාට හිමි සම්මානය කඩුලු 26ක් ලබා සිටි වනිදු හසරංගව දෙවැනි තැනට දමමින් යුස්වේන්ද්‍ර චහාල් (කඩුලු 27) දිනා ගත්තේය.
ලොව විශාලතම ක්‍රිකට් ජර්සිය නිර්මාණය කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම සමාප්ති උත්සවයේ දී ගිනස් ලෝක වාර්තා පොතට ද ඇතුළත්වීමට සමත්වීම මෙහි තවත් විශේෂත්වයකි.








