FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

(ෆාස්ට් නිව්ස් |  චෙන්නායි) – මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු වන ආර්යන් ඛාන් (23) ඇපමත මුදා හැර තිබෙනවා.

ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ගේ අත්අඩංගුවට පත් වීම ලෝකයේම අවධානය යොමු වූ පුවතක් වූ අතර, පසුගිය දිනෙක ෂාරුක් ඛාන් සිය පුත්‍රයා බැලීමට බන්ධනාගාරය වෙත ද පැමිණියා.

ආර්යන් ඛාන්ගේ ඇප ඉල්ලීම කිහිප වරක්ම ප්‍රතික්ෂේප වුණා.

ආර්යන් ඛාන් සමඟ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් විසිදෙදෙනොගෙන් දෙදෙනෙකු ඉන්දීය රුපියල් 50,000ක මුදල් ඇපමත මුදා හැරීමට මුම්බායි මහාධිකරණය පසුගියදා පියවර ගත්තා.

ආර්යන් ඛාන් සම්බන්ධයෙන් පැවති චෝදනා වූයේ, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනිම, මත්ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය යන චෝදනායි.

ගංජා ශාකය භාවිතා කරමින් ඉන්දියාව සහ ජැමෙයිකාවේ නිෂ්පාදනය කරන දැනට ඉන්දියාව තුළ භාවිතයට තහනම් කර ඇති චාර්ස් නම් මත්ද්‍රව්‍ය ආර්යන් විසින් වැඩි වශයෙන් භාවිත කර ඇති බව වෛද්‍ය වාර්තාවලින් අනාවරණ වුණා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට පත්වන විට ඔහුට තිබුණු මත්ද්‍රව්‍ය චෝදනා සහ මේ වනවිට මත්ද්‍රව්‍ය චෝදනා වෙනස්වී තිබීම විශේෂත්වයක්.

අධි සුඛෝපභෝගී නෞකාවක් වන කොඩෙලියා කෘස් නෞකාවේ ප්‍රවේශ ගාස්තු ලෙස එක් පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල් ලක්ෂ 3ක් පමණ වැය වන අතර, නොවැම්බර් 3 වැනි දින ආර්යන් ඇතුළු පුද්ගලයින් 188 දෙනෙකු එම සාදයට එක්ව තිබුණා.

ඒ අතරින් පුද්ගලයින් විසිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතරින් අබ්බාස් මර්චන්ට් නම් ප්‍රකෝටිපතියාගේ පුත්‍රයා සහ දමාචරියා නම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය ද වුණා.

මීට අමතරව එහිදී සිදුකළ වැටලීම්වලදී කොකේන් ග්‍රෑම් 18කුත්, චාර්ස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21කුත්, MDMA නැමති මත්ද්‍රව්‍ය කරල් 21කුත්, මෙෆික්ඩ්‍රෝන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කුත් හමු වුණා.