FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරඟය පහසුවෙන් ජය ගන්නට සංචාරක ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ඉන්දියාව ජය ගත්තේ කඩුලු 07කින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 262ක්.

ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 04කදී කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඉන්දියාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර අද දිනයේ ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් ඉෂාන් කිෂාන් සිය මංගල එක්දින අර්ධ ශතකය රැස්කරමින් වේගවත් ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 49කට කඩුලු 02ක් දවාගත් අතර ලක්ෂාන් සඳකැන් ඉන්දීය කණ්ඩායමේ එක් කඩුලක් දවා ගත්තා.

මෙම ජයත් සමඟ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.