FAST NEWS

24×7 Around the Globe

කලින් දැක්වූ දස්කම් මගෙන් දැන් බලාපොරොත්තු වෙන්න එපා – සංගක්කාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ ශූරතාව දිනා ගත් එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික සිවුදින ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිත අතර , මෙහිදී මාලිබෝන් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිටපු ශ්‍රී ලංකා නායක සහ මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපති කුමාර් සංගක්කාර හට පැවැරී තිබීමද විශේෂත්වයකි.

මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී  ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුමාර් සංගක්කාර කියා සිටියේ 2015 වසරට පෙර පෙන්වූ දක්‍ෂතා මෙම තරගයේදී තමගෙන් දැන් බලාපොරොත්තු නොවන ලෙසයි.

ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගක්කාර දැක්වූ අදහස් ,

“2015 වසරට පෙර දැක්වූ දස්කම් මගෙන් දැන් බලාපොරොත්තු වෙන්න එපා. මම මේ ළඟදී තලවතුගොඩ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී විනාඩි 30ක් විතර බැට් කරා, මේ වසර 3ට මගේ අත් කොයිතරම් සැහැල්ලු වෙලාද කිව්වොත් බැට් කරල ඉවර වෙලා අත් ආවරණ ගලවද්දි මගෙ අත් දෙකම හම ගිහින් තිබුණා. කොහොම වුණත් ඉදිරියේදී ගෘහස්ථ ක්‍රීඩාගාරයකට ගිහින් පුහුණුවීම් කරන්න ඕන”

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසුවේ, කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති වීම ශ්‍රී  ලංකාවට විශාල ආඩම්බරයක් බවත් මෙවැනි ක්‍රිකට් තරගයක් ශ්‍රී  ලංකාව තුළ පැවැත්වීම ශ්‍රී  ලංකාවට විශාල ගෞරවයක් බවත්ය

අප ජීවත් වී සිටින තාක්කල් මේ වගේ තැනකට නැවත කිසිවකු පැමිණේවි යැයි නොසිතන බවත් , ශ්‍රී  ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය සහ ආර්ථිකය මේ තුළින් ලොකු වර්ධනයක් සිදුවේවි යැයි තමා විශ්වාස කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.