(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම වමත් සහ දකුණතු පිතිකරණ සංකලනයක් වන ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම සිදු කරයි.
අංක 3 ස්ථානයේ සුපුරුදු ලෙස 21 වැනි වියේ පසුවන අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේදී පිතිකරුවකු ලෙස කැපී පෙනුණු ඕෂධ ප්‍රනාන්දු අංක 4 පිතිකරණ ස්ථානයෙන්ද නායක තිරිමාන්න පස්වැනි ස්ථානයෙන්ද ශ්‍රී ලංකා පිලේ මැද පෙළ ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙති.
කණ්ඩායමේ සිටින වටිනාම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටින දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පන්දුවට පහර දීමේ කටයුත්තේ නියැළෙන නමුත් දෙදෙනාටම වේගයෙන් පන්දුවට පහර දීමේ හැකියාව පවතිනු ඇත.
ඕනෑම අවස්ථාවක පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන් දක්ෂතා දැක්විය හැකි ඉසුරු උදානට මෙම කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවී තිබෙන අතර ලබා දුන් අවස්ථාවන් වලදී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින වනිඳු හසරංගද අමතක කර දැමිය නොහැකි ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියි.
කවදත් පිතිකරුවන්ට හිතකර තණතීරුවක් ලෙසින් සැලකෙන කරච්චි තණතීරුවේදී වේග පන්දු යැවීමේ ප්‍රධාන වගකීම නුවන් ප්‍රදීප්ට සහ ළහිරු කුමාරට හිමිව තිබෙන නමුත් කණ්ඩායමේ අවශ්‍යතාවයන් අනුව සෙසු ක්‍රීඩකයින්ටද අවසන් 11 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව පවතිනු ඇත.
මේ වන විට පාකිස්තානු පිලේ ප්‍රලම අවි බවට පත්ව සිටින්නේ ආරම්භක පිතිකරු ෆකර් සමාන් සහ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන බාබර් අසාම්ය.
පසුගිය වසර කීපයේදී පිතිකරුවන් ලෙස මොවුන් දෙදෙනා පාකිස්තානු පිල වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කර තිබෙන පිතිකරුවෝ වෙති. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ බාබර් අසාම්ය.
පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 72 කට ක්‍රීඩා කොට ඇති අසාම් මුලු ලකුණු 3213 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 53.55 ක් ලෙස රඳවා තබාගනිමිනි.
ක්‍රීඩා කරන ලද කාලයේදී ශතක 10 කට හිමිකම් කියා සිටින මෙම හැඩකාර දකුණත් පිතිකරුවා අර්ධ ශතකද 15 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ.
ඔහුට වඩා අඩු තරග සංඛ්‍යාවක් හෙවත් තරග 44 කට ක්‍රීඩා කර ඇති වමත් පිතිකරු ෆකාර් සමාන් එක්දින ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරුවාගේ වාර්තාවට හිමිකම් කියයි. ඔහු සිම්බාබ්වේට එරෙහිව 2018 වසරේදී නොදැවී රැස් කරන ලද ලකුණු 210 ක ඉනිම එම වාර්තාව වේ.
එමෙන්ම පැයට කිලෝ මීටර 145 ට වැඩියෙන් පන්දු යැවීමට හැකි වේග පන්දු යවන්නන් කීප පළක්ම සංචිතයේ පසුවන අතර ඉන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන මොහොමඩ් ආමර්, ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩිම අවධානයක් යොමු කළ පන්දු යවන්නා බවට පත්ව සිටියි. ඕනෑම අවස්ථාවක කඩුල්ලක් ලබා ගැනීමේ හැකියාව පවතින පන්දු යවන්නකු වන ආමර්ට පන්දුව දෙපසටම හොඳින් දෝලනය කිරීම කඩුලු දවා ගැනීමේ ප්‍රධානතම උපක්‍රමය ලෙස භාවිත කරයි.
රාත්‍රි කාලයේදී කරච්චි තණතීරුවේ පැවැත්වෙන තරගවලදී ජයග්‍රහණයට සෘජුවම බලපෑම් කරනු ලබන සාධකයක් බවට පින්න හැඳින් විය හැක.
දිවා කාලයේදී තරමක උෂ්ණ කාලගුණ තත්ත්වයක් පැවැතුණිද රාත්‍රි කාලයේදී දැඩි පිනි සහිත තත්ත්වයක් ඇතිවීම නිසා මෙම තරගයේ කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක් ලෙසින් සැලකෙයි.
ඒ අනුව කාසියේ වාසිය දිනුවහොත් ප්‍රථමයෙන් පන්දු යැවීමට වඩා පන්දු රැකීම කාලෝචිත වන්නේ රාත්‍රී කාලයේදී පන්දු යැවීමේදී පින්නෙන් පන්දුව තෙත බරිත තත්ත්වයකට පත්වන බැවිනි.
එසේ වුවහොත් පන්දු යැවීමේදී පන්දුව නිසියාකාරවම ග්‍රහණය කර ගැනීම පන්දු යවන්නන්ට අභියෝගයක් වනු ඇත.








