FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයේ දීර්ඝතම ටෙස්ට් නායකයා නැවත පිටියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්, පාකිස්තානයේ දීර්ඝතම කාලයක් ටෙස්ට් නායකත්වය හෙබවූ මිස්බාහ් උල්-හක්, පාකිස්තාන පුහුණු උපදේශකවරයා වශයෙන් ක්‍රියා කරනු ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, මිස්බාහ් උල්-හක් පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දින 20 ක පුහුණු කඳවුරක් ඉදිරියේදී මෙහෙයවනු ඇත.

සැප්තැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මස දක්වා කල් දමමින් දෙරට අතර එක්දින සහ විස්සයි20 තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් කණ්ඩායම් බස් රථයට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ මේ දක්වා ටෙස්ට් තරගයක් පවත්වා නොමැත.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරග කාල සටහන;

එක්දින තරගාවලිය – කරාච්චි

  • පළමු තරගය – සැප්තැම්බර් 27
  • දෙවැනි තරගය – සැප්තැම්බර් 29
  • තුන්වැනි තරගය – ඔක්තෝම්බර් 02

විස්සයි20 තරගාවලිය – ලාහෝර්

  • පළමු තරගය – ඔක්තෝම්බර් 05
  • දෙවැනි තරගය – ඔක්තෝම්බර් 07
  • තුන්වැනි තරගය – ඔක්තෝම්බර් 09