(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංග්ලාදේශය සමඟ පැවැති තරග තුනකින් සමන්විත් එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගයත් ලකුණු 122 කින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ජය ගැනීමත් සමග මාස 44 කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය වාර්තා කළේ මෙරට ක්‍රිකට් ලෝලීන් සතුටින් මුසපත් කරමින්.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් රැස් කළේය.
ලකුණු 295 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 172 ක් පමණයි.
ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (187) වෙමින් අවසන් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන නුවන් කුලසේකරගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට උපහාරයක් වශයෙන් මෙම තරගය නම් කරනු ලැබීය.
නුවන් කුලසේකර එහි ඔහු නරඹන්නකු ලෙස පැමිණ සිටි අතර ලසිත් මාලිංගද ඔහුගේ සමුගැනීමේ තරගය නැරඹීමට පැමිණ සිටියේය. තරගයෙන් පසුව කුලසේකරට විශේෂ සමරු ත්‍යාගයක් ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබුණි.









