(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කරමින්, 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (12) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කරන් පොලාඞ් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 03 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.
ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී චෙන්නායි ක්‍රීඩකයන්ට ලකුණු 9 ක ඉලක්කයක් හිමි විය. පළමු පන්දු 3දී ලකුණු 4ක් රැස් කර ගැනීමට සමත් වූ චෙන්නායි ක්‍රීඩකයෝ ලකුණු අතර සිටි ෂේන් වොට්සන් 4වෙනි පන්දුවේදී දුවද්දී දැවී යාමට හසු විමට නිසා කණ්ඩායමට එය විශාල පාඩුවක් විය. අවසන් පන්දු දෙකේදී ලකුණු 4 ක් රැස් කර ගැනීටම තිබූ අතර 5වන පන්දුවේදී ලකුණු දෙකක් ලබා ගැනීමට ශර්දුල් ඨාකූර් සමත් වූ අතර මාලිංග ගේ අවසන් පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමේන් ඨාකුර් දැවී යාමත් සමඟ මුබ්බායි ක්‍රීඩකයන් තරඟය ජය ගැනීමට සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 8 කට 149
(ක්වින්ටි ඩි’කොක් 29, රෝහිත් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 15, ඉෂාන් කිෂන් 23, කරන් පොලාඞ් නොදැවී 41, හර්දීක් පාණ්ඩ්‍යා 16, දීපක් චාහර් 26/3, ඉම්රාන් තාහීර් 23/2, ශර්දුල් ඨාකූර් 37/2)
චෙන්නායි සුපර්කිංග්ස් පිල – ඕවර 20 කදී කඩුලු 7 කට 148
(ෆෆ් ඩුප්ලෙසි 26, ෂේන් වොට්සන් 80, ඞ්වේන් බ්රාවෝ 15, ජස්ප්‍රීට් බුම්රා 14/2)
තරගාවලියේ විශේෂ සම්මාන
අවසන් තරගයේ වීරයා – ජස්ප්‍රීට් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
නැගී එන ක්‍රීඩකයා – ශුබ්මන් ගිල් (කොල්කටා නයිට්රයිඩර්ස්)
විශිෂ්ඨතම උඩපන්දුව – කරන් පොලාඞ් (මුම්බායි ඉන්දියන්ස්)
හොඳම පන්දුවට පහරදීමේ වේගය – ඔන්ඩ්‍රි රසල් (කොල්කටා නයිට් රයිඩර්ස්)
වැඩිම ලකුණු ලාභියා – ඬේවිඞ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද්)
වැඩිම කඩුලු ලාභියා – ඉම්රාන් තාහිර් (චෙන්නායි සුපර්කිංග්ස්)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ඔන්ඩ්‍රි රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)