FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කිරීමට විජලනය කරන ලද පලතුරු..

පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කටයුතු සඳහා යොදා ගනු ලබන පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පලතුරු ලබාදීම අනිවාර්ය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සූදානම් වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා ලබාදීමට සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ රට පුරා පාසල් ආශ්‍රිතව කෙටි කෑම හෙවත් ෂෝට් ඊට්ස් බහුලව අලෙවි වන බැවින් එය වැළැක්වීම සඳහා විජලනය කළ පලතුරු පාසල් පද්ධතිය වෙත හඳුන්වා දීම වඩා යෝග්‍ය බවත් පාසල් දරුවන්ට ආදර්ශයක් ලෙස පාර්ලිමේන්තුවෙන් හා අමාත්‍ය මණ්ඩලයෙන් එය හඳුන්වා දිය යුතු බවත්ය.
මෙම වසර අවසාන වීමට ප්‍රථම යන්ත්‍රයක මිල රුපියල් මිලියන 80ක් පමණ වන පලතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10 ක් ජර්මනියෙන් ආනයනය කර පළාතකට එක් යන්ත්‍රයක් බැගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ලබා දීමටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.