ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ගුවන් හමුදාව පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමෙඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරියේ ප්‍රධාන අරමුණ වන්නේ, පාපැදි තරග ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීමය.
ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමිව පැවැත්වෙන පාපැදි තරගය සඳහා, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් 150 කට අධික ප්‍රමාණයක් හා ශ්‍රී ලංකා පාපැදි සංගමයේ ලියාපදිංචි තරගකරුවන්ද සහභාගී විමට නියමිතව ඇත.
දින තුනක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි සවාරිය ප්‍රථම දිනය වන ලබන මාර්තු මස 02 වන දින කොළඹ සිට පුත්තලම දක්වා වන අතර එහි දුර ප්‍රමාණට කි.මි 124.9 කි.
දෙවන අදියර ලබන මාර්තු මස 03 වන දින පාලවි සිට හිගුරක්ගොඩ දක්වා වන අතර එහි දුර ප්‍රමාණය කි.මී. 172.6 කි.
2018 මාර්තු මස 04 වන දින පොළන්නරුව සිට සිට අම්පාර දක්වා තරගාවලිය පැවැත්වෙන අතර අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානය අසලින් අවසන් වීමට නියමිතය, එහි දුර ප්‍රමාණය කි.මී. 149.9 කි.
එ අනුව මෙම තරගාවලියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි.මී 445.9 කි.
එසේම 2018 මාර්තු මස 04 වන දින කාන්තාවන් වෙනුවෙන්ද එක් තරග අංශයක් මඩකලපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ වී අම්පාර තරුණසේවා මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවසන් කිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දුර ප්‍රමාණය කි.මී. 65.2 කි.
එසේම පිරිමි සහ කාන්තා පාපැදි තරඟය සඳහා සහභාගි වන තරගකරුවන්/ තරගකාරියන් සහ කණ්ඩායම් කළමණාකරුවන් සඳහා දිනකට රු. 2000.00 කට වැඩි මුදලක් පාරිතෝෂිත දීමනාවක් ලෙස ලබා දෙනු ලැබේ.








