දේශද්‍රෝහී ආණ්ඩුවේ වලිගයක් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යොදා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ඒකාබදධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේ පසුගිය 25දා පැවැති රැස්වීමකදී පැවැසීය.
ඔහු පවසන්නේ මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව භාවිත කිරීමට ශුද්ධවූ අයිතියක් ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින අපේක්ෂකයන්ට පමණක් බවයි.
රණතුංග මහතා මෙසේද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයොත් ඡන්ද ඉල්ලන්නේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දාගෙන. සමහර තැන්වල ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන, වෙනත් පක්ෂවලින් තරග කරන අයත් ඡන්දය ඉල්ලන්නේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන. මේකෙන්ම පැහැදිලියි අද රටේ ජන මතය මොකක්ද කියලා. පක්ෂ සභාපතිවරයාගේ ෆොටෝ එක ගහලා ඡන්දෙට ගියොත් ඇපත් නැති වෙන බව ගමේ අපේක්ෂකයන් දන්නා නිසයි ශ්‍රී ලංකා අපේක්ෂකයන් මහින්දගේ ෆොටෝ එක යොදාගෙන ඡන්දය ඉල්ලන්නේ.
එක්සත් ජාතික පක්ෂයත් එක්ක දීග කන ගමන්, මහින්දට හොරා කියන ගමන් මහින්දගේ ෆොටෝ ගහගෙන ඡන්දය ඉල්ලන්න ලැජ්ජා නැද්ද කියලයි අපිට මේ අයගෙන් අහන්න තියෙන්නේ. පක්ෂයේ සභාපතියි, ඇමැති කටු සූප්පු කරන අයයි එක පැත්තකින් මහින්දට හොරා කිය කියා තවමත් බනිනවා. හැබැයි අනෙක් පැත්තෙන් මහින්දගේ ෆොටෝ එක ගහගෙන ගිහින් ඡන්දය ඉල්ලනවා. මම ජනතාවගෙන් ඉල්ලනවා මේවාට රැවටෙන්න එපා. මහින්ද වෙනුවෙන් රට වෙනුවෙන් රටට ආදරය කරන අය ඡන්දය ඉල්ලන ලකුණ පොහොට්ටුවයි. කවුරු මොන ෆොටෝ ගහගෙන ආවත් රැවටෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.