FAST NEWS

24×7 Around the Globe

ගණිතය නිසා බන්දුලගෙන් අකිලට ඉල්ලීම් දෙකක්..

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය අසාමාන්‍ය ලෙස සිසුන්ට දරාගත නොහැකි මට්ටමකට සකස් කිරීම හේතුවෙන් විභාගයට පෙනී සිටි සිසුන් විශාල ප්‍රමාණයකට අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

තමා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී දීර්ඝ කාලීනව පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රය පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාදීමේ අරමුණෙන් කමිටුවක් පත්කර සකස් කළ වාර්තාවේ නිර්දේශයන් දේශපාලන වශයෙන් නොසිතා, දරුවන් ගැන සිතා වහා ක්‍රියාත්මක කරන මෙන් අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා පැවැසුවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සඳහා මැදිහත් නොවන්නේ නම් රටේ විධායක ජනාධිපතිවරයා මේ සඳහා වහාම මැදිහත්විය යුතු බවද හෙතෙම පැවැසීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය..

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය අසාමාන්‍ය ලෙස සිසුන්ට දරාගත නොහැකි මට්ටමකට සකස් කිරීම හේතුවෙන් පළමු බිල්ල දිඹුලාගල ප්‍රදේශයේ අසරණ දරුවෙක් බවට පත්ව තිබෙනවා. දීර්ඝ කාලයක සිට ගණිත විෂය සම්බන්ධයෙන් ලංකාව තුළ අර්බුදයක් තිබෙනවා. මම අධ්‍යාපන ඇමැති වනවිට තිබුණු අර්බුදය තමයි ගණිතය විෂය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සහභාගි වන සිසුන්ගෙන් 50%ක් පමණ සමත් නොවීම. නයි නටවන්න, අලි බලන්න වුණත් ගණිතය සමත් වී තිබිය යුතුයි. එපමණක් නොවෙයි සාමාන්‍ය පෙළ ගණිතය සමත් නැත්තම් මම අධ්‍යාපන ඇමැති වනතෙක් දරුවන්ව පාසලෙන් එළියට දැම්මා. නමුත් අපි තීන්දුවක් ගත්තා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගණිතය අසමත් වුණත් කලා අංශයේ විෂය ධාරාවන් හැදෑරිය හැකි බවට.

ඒ වගේම අපි වෙනම විද්වතුන් කිහිපදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා ගණිතය ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳන්න. එහිදී ඔවුන් නිර්දේශ ඇතුළත් කරලා වාර්තාවක් සකස් කළා.

එම වාර්තාවේ තිබෙන ආකාරයට ගණිතය ප්‍රශ්න පත්‍රය සකස් කළා නම් මේ මරණය සිදුවන්නේ නැහැ. මේ වාර්තාව සකස් කළේ මීට වසර 4කට පමණ පෙර. නිලධාරීන්ගේ යුතුකමක් තිබුණා හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මෙම ජාතික ගැටලුව පිළිබඳ කමිටුවක් පත්කරලා වාර්තාවක් සකස් කරලා තිබෙනවා නම් ඒවා ක්‍රියාත්මක කිරීමට.

එම නිසා මම අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් දෙකක් සිදුකරනවා. එකක් තමයි දීර්ඝ කාලීනව පවතින ගණිතය සම්බන්ධයෙන් ගැටලුව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම මීට දීර්ඝ කාලයකට පෙර විද්වතුන් කිහිපදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ දේශපාලන වශයෙන් නොසිතා දරුවන් ගැන හිතලා වහා ක්‍රියාත්මක කිරීමට මැදිහත් වෙන්න යන්නයි. දෙවැනි ඉල්ලීම තමයි මෙවර ගණිතය ප්‍රශ්න පත්‍රයෙන් අසාධාරණයක් සිසුන්ට නොවන ආකාරයෙන් වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතුය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මැදිහත් වෙන්නේ නැත්තම් අඩුම තරමේ දරුවන්ට ආදරේ නම් රටේ විධායක ජනාධිපතිවරයාවත් මැදිහත් විය යුතුයි. මහින්ද රාජපක්ෂ යුගයේදී මෙවැනි දෙයක් සිදුවුණා නම් එලෙසයි ක්‍රියාකරන්නේ. එයයි මෙතැන තිබෙන වෙනස. මේවායින් පීඩාවට පත් වෙන්නේ අහිංසක දරුවන් සහ මවුපියන්.