FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 1 සිට සිඟමන් යැදීම තහනම්.. හේතූන් මෙන්න..

ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය අමාත්‍යංශය කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව, සහ සමාජ සුබ සාධන අමාත්‍යංශය සමග එක්ව කළ සමීක්ෂණයකදී කොළඹ නගර සීමාව ඇතුළත යාචකයින් 600ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා කියා සිටියේ යාචකයින් බහුලවීම හේතුවෙන් මහජනතාවට හිරිහැරයක් මෙන්ම කොළඹ නගරයේ අලංකාරත්වයට ගැටලුවක් ඇතිවන බවයි.

කෙසේ වුවත් එම යාචකයින් ගේ ජීවනෝපාය මාර්ගයන් සකසා දී පුනරුත්ථාපනය කිරීම සඳහා තම අමාත්‍යංශයේ අභිප්‍රායක් ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 80 ක වියදමින් අම්බලන්තොට රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවත් ඔහු කියා සිටියේය.

කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් වෙනුවෙන් අනුකම්පා කළ යුතු බවත් කෙසේ වෙතත් සිඟමන වෘත්තියක් ලෙස සිදුකරගෙන යන අය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් චම්පික රණවක ඇමැතිවරයා පැවසීය.

එසේම සිඟමනට වැටී සිටින පාසල් යන වයසේ පසුවන දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීමටද විවිධ අසනීප හා පිළිසරණක් නැති දරුවන් වෙනුවෙන් ජීවිත කාලය පුරා ඔවුන් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන බවද අමාත්‍යවරයා කීය.