FAST NEWS

24×7 Around the Globe

ඩයනා කුමරියගේ පිළිරුවක් නෙළන්න මුල්වරට අනුමැතිය.. (ඡායාරූප)

ලෝකයම හඩවමින් මීට වසර 20 කට පෙර 1997දී හදිසි අනතුරකින් මියගිය බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය ගැන විවිධ අය නොයෙකුත්වර සිහිපත් කිරීම් සිදු කළත් ඇය වෙනුවෙන් රජ මාළිගයේ පිළිරුවක් නිර්මාණය කරන්නට කිසිවෙකුට මේ දක්වා අවසර ලැබී තිබුනේ නැත.

මින් වසර 5 කට පමණ පෙර එක්තරා මූර්ති ශිල්පියෙකු ඩයනාගේ පිළිරුවක් තනා එය ප්‍රසිද්ධ කරන්නට උත්සාහයක යෙදී තිබියදී බ්‍රිතාන්‍ය මහරැජින එය වළක්වා ඉවත් කර තිබුණි.

කෙසේ වෙතත් දශක දෙකක් ගතවීත් ඩයනා කුමරිය වෙනුවෙන් ලෝකයා දක්වන ආදරය තවමත් එලෙසම පවතින අතර විලියම් හා හැරී කුමරුවන් තවමත් සිය මෑණියන් ආදරයෙන් මතක් කරන නිසාම ඒ ගැන ජනතාවටද ඇත්තේ අනුවේදනීය හැඟුමකි.

මේ අතර පෙරේදා(13) දින බ්‍රිතාන්‍ය රජ මාලිගයෙන් වාර්තා වූයේ මේ දක්වා ඩයනා කුමරියගේ පිළිරුවක් වෙනුවෙන් නොතිබුණ අවසරය විළියම් හා හැරී කුමරුවන්ගේ කැමැත්ත මත මූර්ති ශිල්පියෙකුට ලැබුණ බවකි.

පිළිරුව තනන්නට තෝරාගත් මූර්ති ශිල්පියා ඉයන් රෑන්ක් බ්‍රේඩ්ලේ නමැති 65 හැවිරිදි සුප්‍රකට කලාකරුවෙක් වන බවත් ඔහු 1998 සිට මේ දක්වා බ්‍රිතාන්‍යයේ නිකුත් කරන කාසි වල රැජිණගේ රුව නිර්මාණය කළ කෙනා වන බවද සදහන්ය.

එසේම එංගලන්තයේ හිටපු හමුදා නායකයින් රැසකගේ ජීවමාන පිළිරූ අලංකාර ලෙස මූර්තියට නැගූ ශිල්පියා ලෙසද ඔහු නමක් දිනා ඇති බව වාර්තා වෙයි.