ගැසට් පත්‍රයකින් පොල්වලට පාලන මිලක් ගෙන ආවයින් පසුව වැඩි මිලට පොල් විකුණන අසරණ වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (14) පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවැසීය.
පොල් ප්‍රශ්නයට විසඳුම ලෙස පිටරටින් පොල් මද ආනයනය කිරීම යනුවෙන් දැන්වීමක් පළ කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයට ලැජ්ජාවක් නොමැතිදැයි විමසා සිටින බවත් වෙළෙන්දන් කූට යැයි කියමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම රටේ බඩු මිලේ ප්‍රශ්නයට විසඳුමක් නොවන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
පොල් වැනි ආහාරයක උපරිම මිල තීරණය කරන්න බැහැ. පොල් ගෙඩි විවිධ ප්‍රමාණවලින් තියෙන්නේ. මගේ රියැදුරු මහත්තයා එනකොට ගෙනාව මේ පොල් ගෙඩිය රුපියල් 65යි. පාලන මිල රුපියල් 75යි. පාලන මිලේ තියෙන මේ පොල් ගෙඩිය රුපියල් 75යි. මේ ගෙඩිය 80යි. ආණ්ඩුව කියන විදියට මේ අයව අත්අඩංගුවට ගන්න වෙනවා. නැත්නම් ගැසට් පත්‍රයෙන් කියන්න වෙනවා චූටි ඒවා 70යි. මේවා 75යි. මේවා කීයද ආදී වශයෙන්. මම හිටපු වෙළෙඳ ඇමැතිවරයා. කොහොමද පොල් ගෙඩි වර්ගීකරණය කරලා ගැසට් එක ගහන්නේ. කූට වෙළෙන්දුන් නිසාද ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ.
2014දී පොල් ගෙඩි දස ලක්ෂ 2870ක් නිෂ්පාදනය කරලයි ආණ්ඩුව භාර දුන්නේ. කපාපු පොල් නිෂ්පාදනය 72.5%කින් වැඩි වෙලා තිබුණා. ආණ්ඩුවේ වැඩපිළිවෙළ යටතේ 2015දී පොල් නිෂ්පාදනය තිබුණේ දස ලක්ෂ 3056ක්. 2014 සාපේක්ෂව 15දී 6.5%කින් පොල් නිෂ්පාදනය වැඩි වුණා. 2016දී පොල් නිෂ්පාදනය දස ලක්ෂ 3011යි. පොල් නිෂ්පාදනය අඩු වුණා -1.5 දක්වා. අඛණ්ඩව වැඩිවුණු නිෂ්පාදනය සෘණ වෙන්න ගන්නවා. 2014දී අලුතින් පොල් වගා කරලා තියෙනවා හෙක්ටයාර් 30,771ක්. 2016දී අලුතින් වගා කරලා තියෙන්නේ හෙක්ටයාර් 10,996යි. හෙක්ටයාර් 19,775කින් පොල් වගා කිරීම අඩු වෙලා තියෙන එකෙන් පේන්නේ පොල් නිෂ්පාදනය අත් හැරීම රජයේ ප්‍රතිපත්තිය බවයි. 64%කින් පොල් අලුතින් වගා කිරීම අඩු වෙලා. රජයට කෘෂිකර්මාන්තය පිළිබඳව තේ, පොල්, රබර් පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. අන්ධභූත ජාතකය වගේ විවිධ කතාන්දර කියනවා.