FAST NEWS

24×7 Around the Globe

වසරකට ලංකාවෙන් පිළිකා රෝගීන් 20,000ක්..

ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගීන් 20,000ක් පමණ වර්ෂයකට හමුවන්නේ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරයට සහභාගි වෙමින් පැවැසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

‘බෝ නොවන රෝග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මුහුණ දී තිබෙන අභියෝගයක්. එය සමස්ත සාර්ක් කලාපයටම පොදු කරුණක්. මේ වර්ෂයේ පැවැති සාර්ක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදීද බෝ නොවන රෝග පිළිබඳව අවධානය යොමු කෙරුණා. සෑම වසරකම පිළිකා රෝගීන් 20,000ක් පමණ අලුතින් හමුවෙනවා.

මෙහිදී පුරුෂ පක්ෂය මුඛ, පෙණහලු, ගලනාල පිළිකාවලට මුහුණ දී ඇති අයුරු දක්නට ලැබෙනවා. කාන්තාවන් පියයුරු , ගැබ්ගෙල සහ ඩිම්බකෝෂ පිළිකාවලට ගොදුරුව සිටිනවා. පුරුෂ පක්ෂය අතර මුඛ හා පෙණහලු පිළිකා වර්ධනයට බලපා ඇත්තේ දුම්පානයයි. එම නිසා දුම්පානය අවම කිරීමට වත්මන් රජය ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පිළිකා රෝගීන් සඳහා පනවා තිබූ රුපියල් ලක්ෂ 15ක ප්‍රතිකාර සීමාව ඉවත් කිරීමට මම පියවර ගත්තා. විකිරණ ප්‍රතිකාර ක්‍රමද විධිමත්ව සිදු කරන අතර පිළිකා රෝග පර්යේෂණ වැඩිදියුණු කර තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහල, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල්වල ප්‍රතිකාර ක්‍රම විධිමත්ව සිදු කරනවා.’