FAST NEWS

24×7 Around the Globe

ජෝතිපාලගේ ගී ගැයු හේතුවට නලීන් පෙරේරා අධිකරණයට ගෙන්වයි..

ලබන ජනවාරි 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මේරියන්ස්‌ සංගීත කණ්‌ඩායමේ නායක නලින් පෙරේරා මහතාට නොතිසි යෑවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම්. යූ. සමරවර්ධන මහතා නියෝග කළේය.

නැසීගිය අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ පවුලේ ඥාතීන්ගේ නිසි අවසරයකින් තොරව එච්. ආර්. ජෝතිපාල මහතා විසින් හැත්තෑව දශකයේ ගායනා කරන ලද ජනප්‍රිය ගීත ඇතුළත් ප්‍රසංගයක්‌ පවත්වා මුදල් උපයා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇතැයි පෙන්වා දෙමින් ගොනු කර තිබූ නඩුවක්‌ සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය.

විත්තිකාර නලින් පෙරේරා මහතාගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක්‌ අයකර දෙන ලෙසත් ඉදිරියේදී එච්. ආර්. ජෝතිපාල මහතාගේ නාමය, ඡායාරූප හා ගායනා භාවිත කිරීම වළක්‌වමින් වාරණ නියෝගයක්‌ සහ ස්‌ථිර අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා එච්. ආර්. ජෝතිපාල මහතාගේ බිරිඳ සහ දියණියන් විසින් එම නඩුව පවරා තිබිණි. විත්තිකාර නලින් පෙරේරා මහතාගේ සංගීත වෘන්දය 2017.01.22 දින කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී ‘කිං ඔෆ් සෙවන්ටීස්‌ අන්ප්ලග්’ යන නමින් සංගීත ප්‍රසංගයක්‌ පවත්වා ලාබ ඉපැයූ බවත් නීතිඥ නලින් සමරකෝන් මහතා මගින් ගොනුකර තිබූ මෙම නඩුව මගින් එච්. ආර්. ජෝතිපාල මහතාගේ බිරිඳ ඇතුළු දියණියන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එකී ප්‍රසංගය සඳහා එච්. ආර්. ජෝතිපාල මහතාගේ නාමය, ඡායාරූප හා ගායනා යොදා නොගන්නා ලෙසට විත්තිකරු අමතා ඉල්ලා සිටි නමුදු ඔහු එම ඉල්ලීම නොසලකා වාණිජ ලාබ උපයා ගැනීමේ අදහසින් දිගින් දිගටම ප්‍රසංගයේ ප්‍රචාරණ කටයුතු සිදුකළ බවත් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි. විත්තිකරුගේ එකී නීති විරෝධී කටයුතු හා ප්‍රසංගය නවත්වන ලෙස අධිකරණමය නියෝගයක්‌ ඉල්ලා සිටීමට පැමිණිලිකරුවන් අදහස්‌ කළ ද ඒ වන විටත් මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන සිටි රසිකයන් පිළිබඳ සිතා එසේ නොකළ බව ද පැමිණිලිකරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි. එකී ක්‍රියාකලාපය නිසා රුපියල් මිලියන 10 ක අලාභයක්‌ පැමිණිල්ලට සිදුව ඇති බව දන්වා විත්තිකරු වෙත එන්තරවාසියක්‌ එවන ලද නමුත් ඊට නිසි පිළිතුරක්‌ එවා නොමැති බව ද පැමිණිලිකරුවන් පෙන්වා දී තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස්‌ මත චින්තක ප්‍රනාන්දු මහතා සමඟ නීතිඥ තරිඳු රාජකරුණා මහතා පෙනී සිටියේය.