මෙවර ශ්රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග ගත වූ දින කිහිපය තුළ ශ්රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විසින් පරිසරයට විශාල වශයෙන් කැළි කසළ බැහැර කර ඇති බවට සමාජ ජාල වෙබ් අඩවිවල ඡායාරූප සහිතව පළවන වාර්තා පදනම් විරහිත බව අඹගමුව ප්රාදේශීය සභා ලේකම් එස්. සරවනන් මහතා පැවසීය.
ශ්රීපාද උඩමළුවේ සිට හැටන් මාර්ගයේ නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් විසින් බැහැර කරනු ලබන කැළි කසළ තම ප්රාදේශීය සභාවේ සේවකයන් විසින් පහළට රැගෙන එන බවත්, සමාජ ජාල වෙබ් අඩවිවල පළ වූ වාර්තා පරිදි පසුගිය දින කිහිපය තුළ කැළි කසළ එකතු වී නොතිබූ බවත් හෙතෙම පවසා සිටියේය.
මෙවර ශ්රීපාද වන්දනා සමයේදී කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් වන්දනාකරුවන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත්, වන්දනාකරුවන්ට වර්ග කර කැළි කසළ බැහැර කිරීම සඳහා ගිනිගත්හේන සිට ශ්රීපාද උඩමළුව දක්වා තෝරාගත් ස්ථාන කිහිපයක කැළි කසළ බඳුන් ස්ථාපනය කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.









