FAST NEWS

24×7 Around the Globe

සුපිරි පොප් ගී තරුව, මැඩෝනා ඉදිකල ළමා රෝහල විවෘත කෙරේ..

මලාවි දේශයේ අසරණ දරුවන් සිවුදෙනෙකු හදාවඩා ගනිමින් සිටින සුපිරි පොප් ගී තරුව, මැඩෝනා පසුගියදා සිය දරුවන් සිවුදෙනාද කැටුව මලාවි දේශයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වූයේ එහි ඉදිකර තිබෙන ළමා රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම සදහාය.

මලාවියේ බ්ලැන්ටයර් නගරයේ ඉදිකර ඇති මේ ළමා රෝහල ඇඳවල් 50කින් සමන්විත බව සඳහන් වන අතර මැඩෝනා විසින් මෙම රෝහල ඉදිකරන ලද්දේ ඇය විසින් ආරම්භ කරන ලද ‘%Raising Malawi’ නම් වූ සමාජ සත්කාරක වැඩසටහන යටතේය.

ළමා රෝහල විවෘත කිරීම සිදුකොට ඇත්තේ මලාවියේ ජනාධිපති ආතර් පීටර් මුතාරිකා වන අතර, “මර්සි ජේම්ස්” ළමා රෝහල යනුවෙන් මෙම රෝහල නම්කර ඇත්තේ මැඩෝනා විසින් දරුකමට හදාවඩා ගත් එක් දරුවකුගේ නම එය වීම නිසාවෙනි.

රෝහල විවෘත කිරීම නිමිත්තෙන් එම රෝහල් පරිශ්‍රය මලාවියේ ජාතික කොඩිවලින් සහ වෙනත් සැරසිලිවලින් අලංකාර කර තිබූ බවද සඳහන් වන අතර එම අවස්ථාවට මලාවි දේශයේ කලාකරුවන් රැසක් සහ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝද සහභාගි වී සිට ඇත.