FAST NEWS

24×7 Around the Globe

‘Sense of Melbourne’ නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී…

 

ඔස්ට්‍රේලියානු දිනය වෙනුවෙන් එනම් ජනවාරි 26ට සමගාමීව ඔස්ට්‍රේලියානු ඡායාරූප ප්‍රදර්ශනයක් ‘Sense of Melbourne’  නමින් මෙම 25 සහ 26 යන දිනයන්හී කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත් වේ.

මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 25 උදෑසන 10.00ට ප්‍රදර්ශනය ඇරඹෙන අතර, මෙල්බර්න් සහ ඒ අවට දර්ශන 60ක් ප්‍රදර්ශනය සඳහා ඇතුළත්ය.

මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ දිවයිනේ ප්‍රකට සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන සඳුන් ගමගේ සහ අතුල රණරාජා විසිනි.

ඔස්ට්‍රේලියාවේ සංචාරය කොට ලබාගත් ඡායාරූප ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය.

ඔස්ට්‍රේලියාව යනු ලෝකයට ලෝකයක් වූ විශාල රාජ්‍යයක් වන අතර මෙම ප්‍රදර්ශනය එහි එක් සුසුමක් පමණක් වන බව සඳුන් ගමගේ සහ අතුල රණරාජා පවසති.

අධ්‍යාපනික සහ වෘත්තීමය බැඳීමක් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තිබුණද, සංස්කෘතිමය වශයෙන් දුරස්ථ බවක් ඇති බවත්, මෙම ප්‍රදර්ශනය ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික වශයෙන් වූ කලාත්මක බැඳීම ඇති කරවීම වෙනුවෙන් ගන්නා ලද පුංචි ප්‍රයත්නයක් බවත් මේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනා සඳහන් කරති.

අධ්‍යාපනික වශයෙන් ඔස්ට්‍රේලියාව හා බැඳී කටයුතු කරන දිවයිනේ ප්‍රකට අධ්‍යාපනික ආයතනයක් වන Jeewa Education මෙම ප්‍රදර්ශනය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇති අතර, ඡායාරූප මුද්‍රණ අනුග්‍රහය Seya Colour වෙතින් දැක්වුව අතර ඡායාරූප රාමු සහ නිර්මාණ නිමාව සඳහා අනුග්‍රහය Haylays කොළඹ 07 Cafe Pixel ආයතනයෙනි.

25 වැනිදා උදෑසන 10.00ට මෙරට ඔස්ට්‍රේලියානු තානාපති වන බ්‍රයිස් හචෙසන් (Bryce Hatchesson) මහතාගේ සම්භාවනීය ප්‍රධානත්වයෙන් ඡායරූප ප්‍රදර්ශනය ඇරඹේ.

‘Sense of Melbourne’  හෙවත් මෙල්බර්න් හැඟීම ලෙස නම් වූ මෙම ඡායාරූප ප්‍රදර්ශනය  25 උදෑසන 11 සිට රාත්‍රී 8 දක්වාත්, 26 වැනිදා උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වාත් විවෘත වන අතර වැඩි විස්තර සඳහා Sandun Gamage  0777 265318 හෝ Athula Ranaraja 0772 26890 අමතා දැනගත හැකිය.