FAST NEWS

24×7 Around the Globe

සංගක්කාරගෙන් විශිෂ්ට පිතිහරඹයක් – ඩයිනමයිට්ස් පරදා ටයිටන්ස් කඩුළු 06 ක ජයක් ලබයි..

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙස කුමාර් සංගක්කාර සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය කුල්නා ටයිටන්ස් ක්‍රීඩකයෝ පන්දු 12 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහමදුල්ලා පන්දු 28 කදී ලකුණු 50 ක් රැස්කරමින් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය පහසු කළේය.

මහමදුල්ලාගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

අබ්දුල් මසිඞ් (21) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 32 දී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මහමදුල්ලා, බෙනී හොවෙල්  (නොදැවී 26) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 22 දී ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ටයිටන්ස් කණ්ඩායමේ ජයග්‍රණයට මඟ පෑදුවේය.

වේගවත් පිතිහරඹයක නිතර වූ හසනුස්සාමන් පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කරමින් ටයිටන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් ඕවර 2 ක් යවා ලකුණු 23 ක් ලබාදුන්නද, එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට සීක්කුගේ ප්‍රසන්න අපොහොසත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩයිනමයිට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කුමාර් සංගක්කාර පන්දු 41 කදී ලකුණු 59 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි.

මෙහෙදි මරූෆ් (16) සමග එක්ව ඩයිනමයිට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් විය.

පන්දු 8 කට මුහුණදුන් සීක්කුගේ ප්‍රසන්නට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් රැස්කළ හැකිවූයේ ලකුණු 14 ක් පමණි
.
කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ ජුනේඞ් ඛාන් ඕවර 4 ක් යවමින් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 158
(මෙහෙදි මරූෆ් 16, කුමාර් සංගක්කාර 59, නසිර් හුසේන් 19, සීක්කුගේ ප්‍රසන්න 14, මොසද්දික් හුසේන් 20, ජුනේඞ් ඛාන් 22/3)

කුල්නා ටයිටන්ස් කණ්ඩායම – ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී 159
(හසනුස්සාමන් 40, අබ්දුල් මසීඞ් 21, මහමදුල්ලා 50, බෙනී හොවෙල් නොදැවී 26)