FAST NEWS

24×7 Around the Globe

මොහමඩ් අමීර් යළිත් පාකිස්තාන සංචිතයට.

තරග පාවාදීමට වරදකරු වූ වේග පන්දු යවන මොහමඩ් අමීර් යළිත් පාකිස්තාන ක්‍රිකට් සංචිතයට එක්වීම අරභයා පැන නැගී තිබෙන මතභේදය දැන් කෙමෙන් සමථයකට පත්වෙමින් තිබෙන බවක් දිස්වෙයි.

පාකිස්තාන කණ්ඩායමට අමීර් නැවත එක්වීමට ඇති ඉඩකඩ හමුවේ පළපුරුදු පිතිකරු මොහමඩ් හෆීස් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක අසාර් අලි එකහෙළාම ඔවුන්ගේ විරෝධය පළ කර තිබිණි. තරග පාවාදීම පිළිබඳ වරදකරුවකු බවට ඔප්පු වූ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටීම පාකිස්තානයේ ප්‍රතිරූපයට කැළලක් බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි. ලබන මාසයට නියමිත පාකිස්තාන කණ්ඩායමේ නවසීලන්ත සීමිත ඕවර තරග සංචාරය සඳහා වන සංචිතයට අමීර් ඇතුළත් වුවහොත් තමන් ක්‍රීඩා නොකරණ බව මේ දෙදෙන මෑතකදී පවසා තිබිණි.

අමීර් සමග පුහුණු වීම ප්‍රතික්ෂේප කළ අසාර් හා හෆීස් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පවත්වා ගෙන යමින් තිබෙන ජාතික ශරීර යෝග්‍යතා කඳවුරේ පසුගිය සිකුරාදා පුහුණුව වර්ජනය කළහ. කෙසේ වෙතත් මේ රිස්සුම් නැති තත්ත්වය මඳක් ලිහිල් වන බවක පෙරනිමිති පහළ වෙමින් හෆීස්, අසාර් හා අමීර් පෙරේදා එකට එක්ව පුහුණු වෙමින් සිටි අයුරු දක්නට ලැබිණි. හෆීස් හා අසාර් පසුගිය දින කිහිපයේ මේ කඳවුරේ පුහුණු වූයේ අමීර් තමන් අසළට නොගෙනය. එහෙත් පෙරේදා මේ තිදෙන එකට පුහුණු වූවා පමණක් නොව අසාර්, අමීර්ගේ පන්දු කිහිපයකටද මුහුණ දුන්නේය.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස්හිදී පැවැති ටෙස්ට් තරගයකදී කළින් සැලසුම් කරගත් පරිදි මුදල් වෙනුවෙන් හිතාමතාම නීතිවිරෝධී (නෝ බෝල්) පන්දු යැවීම සම්බන්ධයෙන් මොහමඩ් අමීර් හා තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග තහනමක් හා හය මසක සිරදඬුවම් නියම කෙරිණි.

තමන්ට පැනවූ පස් වසරක තරග තහනම මේ වසර මුලදී සම්පූර්ණ කළ වමතින් වේග පන්දු යවන 23 හැවිරිදි අමීර් නවසීලන්ත සංචාරය සඳහා වන පාකිස්තාන කණ්ඩායමට තෝරා ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය එසේ වුවහොත් අමීර් යළිත් ජගත් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ හය වසරකට ආසන්න කාලයකට පසුව වනු ඇත. අමීර්ගේ ආගමණයට තමන් පක්ෂ බව ලෝක පූජිත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පවසයි. අමීර්ට සහාය ලබා දෙන ලෙසට ඔහු සැකයෙන් පසුවන ක්‍රීඩකයන් හා ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.

උසාවිය ඉදිරියේ වරද පිළිගත් අමීර්ට තවත් අවස්ථාවක් ලැබීමට අයිතියක් ඇතැයි පාකිස්තානය ඔවුන්ගේ එකම ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන ගිය, එරට ක්‍රිකට් ප්‍රජාව තුළ මහත් ගෞරවයට පාත්‍රව සිටින ඉම්රාන් ඛාන් කියා සිටී.

“අවුරුදු දහ අටේ කොල්ලෙක් වැරැද්දක් කළා. ඔහු උසාවියේදී බොරු කළේ නැහැ. තමන් කළ වරද පිළිගෙන දඬුවම සම්පූර්ණ කළා. ඔහු නැවත ක්‍රීඩා කළ යුතුයි” ඉම්රාන් ප්‍රකාශ කරයි.

“ඔහු හැමකෙනෙකුගෙන්ම සමාව ඉල්ලුවා. ඒ නිසා ඔහුගේ නැවත පැමිණීමට විරුද්ධ වන සැම දෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ ඔහුට විරුද්ධව ගෙන යන ක්‍රියාවන් නවත්වන ලෙසටයි.”

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පාකිස්තානයේ ලොකුම වස්තුව මොහමඩ් අමීර් බව අමීර්ගේ තරග තහනමට පෙර ඉම්රාන් ප්‍රකාශ කර තිබිණි. මේ අතර තවත් සුපිරි වේග පන්දු යවන්නෙකු වූ වසිම් අක්රම් කියා තිබුනේ වයස අවුරුදු දහ අටේදී අමීර් තමාට වඩා දක්ෂයෙක් වූ බවය.