FAST NEWS

24×7 Around the Globe

චෙන්නායි පරදා මුම්බායි IPL කිරුළ හිමිකර ගනිති

 

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගත්තේ ය.

ඊයේ පැවති අවසන් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ, ලකුණු 41කිනි.

කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් නායක මහෙන්න්ද්‍ර සිං දෝණි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ප්‍රතිවාදී මුම්බායි ඉන්ඩියන්ස් ඉනිම ආරම්භ කළේ, ලෙන්ඩල් සිමන්ස් සහ පර්තීව් පටේල් ය.

ඔවුන් දෙදෙනාට මුම්බායි ඉන්ඩියන්ස් ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූහ.

පර්තීව් පටේල් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වන විට මුම්බායි කණ්ඩායම රැස් කරගෙන සිටියේ එක් ලකුණක් පමණි.

ලෙන්ඩල් සිමන්ස් හා ‍රෝහිත් ශර්මා අතර ‍දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 119කි.

සිමන්ස් පන්දු 45කින් ලකුණු 68ක් රැස් කළේ ය.

ශර්මා පන්දු 26කින් 4 පහර 6ක් සහ 6 පහර දෙකක් ද සහිතව ලකුණු 50ක් රැස් කිරිමට සම්ත් විය.

කිරන් පොලාර්ඩ් සහ අම්බටි රයිදු ලකුණු 36 බැගින් රැස් කළහ.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 22ක් ලබා සිටියදී බිඳ වැටිණ.

ආරම්භක පිතිකරු ඩ්වේන් ස්මිත් ලකුණු 57ක් රැස් කළ අතර
සු‍රේෂ් රයිනා රැස් කළ ලකුණු සංඛ්‍යාව 28කි.

පිතිකරුවන් පස් දෙනෙකු ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවී ගියහ.

මිචෙල් මැක්ලෙගන් පන්දුවාර 4කදී ලකුණු 25ට කඩුලු 3ක් දවා ගැනිමට සම්ත විය.

ලසිත් මාලිංග පන්දුවාර 4කදී ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

පන්දුවාර 20 අවසානයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 161ක් පමණි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ රෝහිත් ශර්මා තරගයේ වීරයා විය.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම 2013 වසරේදී මෙම තරගාවලියේ කුසලානය දිනා ගත්තේ ය.