FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ පිළට එරෙහිව යසීර් ෂාගේ දඟ පන්දුවෙන් සහ ගුග්ලියෙන් වික්‍රමයක්.

යසීර් ෂා (26/6) විශිෂ්ට පන්දු යැවීම නිසා තරග තුනකින් සමන්විත පකිස්තානය සහ සිම්බාබ්වේ අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 131 ක පහසු ජයක් වාර්තා කිරීමට පකිස්තාන් කණ්ඩායම ඊයේ (01 දා) සමත්විය.

මෙම තරගය හරාරේ ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක එල්ටන් චිගුම්බුරා පළමුව පන්දු යැවීම තෝරාගත නමුත් පාකිස්තානුවෝ සිය ඕවර 50 නිමාවේදී කඩුලූ 6 කට ලකුණු 259 ක් ලබාගත්හ.

ලකුණු 260 ක ජයග‍්‍රාහී ඉලක්කයක් පසු පස හඹා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ සියලූ දෙනා පන්දු ඕවර 37 කදී ලකුණු 128 කට දවා ගැනීමට යෂීර් ෂා ප‍්‍රමුඛ පකිස්තාන් පන්දු යවන්නෝ සමත් වූහ. සිම්බාබ්වේ පිතිකරුවන්ව දග කවා දැමූ යසීර් ෂා සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කරමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

යසීර් ෂාගේ පා දග පන්දුවට සහ ගුග්ලි පන්දුව තෝරා බේරා ගැනීමට නොහැකිවූ සිම්බාබ්වේ පිතිකරුවන් හය දෙනකු ඔහු ඉදිරියේ දැවී යද්දී ෂා ගේ පන්දු හමුවේ ඔවුන්ට ලබා ගත හැකිවූයේ ලකුණු 26 ක් පමණි.

එක්දින තරග 11 කදී කඩුලූ 16 ක් දවා ගෙන සිටින 29 හැවිරිදි යෂීර් ෂාගේ මීට පෙර හොඳම එක්දින පන්දු යැවීම සටහන් වූයේ පසුගිය ජූලි මාසයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර තිබුණි. එහිදී ඔහු ලකුණු 29 කට කඩුලූ හතරක් බිද දැමුවේය.

”මම හෝටලයේ සිට එන විටත් තිබුණෙ පොඩි සැලැස්මක් විතරයි””මම කළේ කඩුලූ අතර පන්දුව පතිත කරමින් නියම ස්ථානයට පාලනයකින් යුතුව පන්දුව යොමු කිරීමයි. මේ තරගාවලියේදී මගේ පළමු තරගය තමයි මේක. මගේ ගුග්ලි පන්දුව, ලේග් බ්‍රේක් පන්දුව වගේම ෆිලිපර් පන්දුව සිම්බාබ්වේ පිතිකරුවන්ට තෝරා ගැනීමට අපහසු වුණා” යනුවෙන් තරගයේ වීරයා සම්මානය දිනූ ෂා පැවසීය.

පකිස්තානු ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා ලකුණු 35 ක් තුළ ක‍්‍රීඩාගාරයේ සිටියදී පැමිණි සර්ෆ‍්‍රාස් අහමඞ් සහ ෂොයිබ් මලික් සිව්වැනි කඩුල්ලට පන්දු 88 කදී ලකුණු 65 ක සබඳතාවක් එක් කරමින් පකිස්තානු ඉනිම ඔසවා තැබූහ.

ෂොයිබ් මලික් සහ සර්ෆාස් අහමඞ් දැවී යාමෙන් පසුව පකිස්තානු ඉනිමේ සාර්ථකම සබඳතාව එක් කළ මොහොමඞ් රිස්වාන් සහ ඉමාඞ් වසීම් දෙදෙනා හය වැනි කඩුල්ලට පන්දු 111 කදී ලකුණු 124 ක සබඳතාවක් එක් කළහ.

අංක හය පිතිකරු ලෙස පැමිණි මොහොමඞ් රිස්වාන් මිනිත්තු 105 ක් පුරා නොදැවී සිටින අතරවාරයේ මුහුණ දුන් පන්දු 74 දී ලකුණු 75 ක් එක්කර ගැනීමට සමත්වෙද්දී හතරේ පහර 4 ක්ද ඊට ඇතුළත්කර තිබුණි. එය රිස්වාන්ගේ තෙවැනි එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා වේ.

අවශ්‍යම මොහොතේ තමාගේ පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කළ අංක හත පිතිකරු ඉමාඞ් වසීම් පන්දු 61 කදී හතරේ පහර පහක් සමග ලකුණු 61 ක් ලබා ගත්තේය.

සිම්බාබ්වේ පළමු පිතිකරුවන් හය දෙනාම ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් ලබා ගැනීමට සමත් වුවත් ඉන් එකදු පිතිකරුවකුට හෝ දිගු ඉනිමක් කරා යෑමට නොහැකි වීම ඔවුන්ගේ පරාජයේ ප‍්‍රධාන සාධකය විය. සිම්බාබ්වේ අවසන් පිතිකරුවන් පස්දෙනාටම ලබා ගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි.

පකිස්තානය පන්දු ඕවර 50 කදී කඩුලූ හයට ලකුණු 259 යි.
(සර්ෆාස් අහමඞ් 44, ෂොයිබ් මලික් 31, මොහොමඞ් රිස්වාන් 75, ඉමාඞ් වසීම් 61, ටිනේෂ් පන්යන්ගරා 66/1, ලූක් ජොන්ග්වේ 41/1 යි.)
සිම්බාබ්වේ පන්දු ඕවර 37 කදී සියලූ දෙනා දැවී ලකුණු 128 යි.
(බ‍්‍රයන් චැරි 16, සීන් විලියම්ස් 26, සිකන්ද්‍ර රාසා 19, එල්ටන් චිගුම්බුරා 22, යෂීර් ෂා 26/6, ෂොයිබ් මලික් 30/3 යි.)